June 21, 2026

මෑතක ඉඳන් යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් දැන් සිරාම ‘ආතල්’ සපයන තැන් බවට පත්වෙලා කියලා ආරංචියි. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ දොස්තරකම අතහැරලා දේශපාලනයට ආපු අපූරු මන්ත්‍රීවරයකුයි, පළාත් පාලන ආයතනවල ඉන්න කම්මැලි, නිද්‍රාශීලී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකුයිලු.

තත්ත්වය කෙතරම් දරුණුද කියනවා නම්, දැන් මේ රැස්වීම් වාර්තා කරන්න වෘත්තීය මට්ටමේ ජනමාධ්‍යවේදීන්ට වඩා දුවගෙන එන්නේ යූටියුබ්කරුවෝලු. ඒ රැස්වීම්වල සිද්ධවෙන රණ්ඩු වීඩියෝ කරලා තමන්ගේ චැනල්වල ‘වයිරල්’ කරගන්න මේ අයට දැන් හොඳ මාකට් එකක් හැදිලා.

පසුගිය බදාදා පැවැත්වුණු රැස්වීමත් ඒ වගේම එකක්. එදා රැස්වීම අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර අර්චුනා රාමනාදන් සහ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අතර සිරාම ‘ගේමක්’ ඇවිළුණා. වචන හුවමාරුව දුරදිග ගිහින් වලිය බේරන්න එතැන රාජකාරියේ හිටපු පොලිස් නිලධාරීන්ට පවා මැදිහත් වෙන්න සිද්ධ වුණාලු.

මේ ගැටුම කොච්චර පහත්ද කියනවා නම්, දෙන්නා පෞද්ගලික මඩ ප්‍රහාර එල්ල කරගන්න මට්ටමටම වැටුණා. ඒ වෙලාවේ එතැන හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට ලැජ්ජාව වැඩි කමට අහක බලාගන්න සිද්ධ වුණා කියලා තමයි ආරංචිය.

මේ සේරම දිහා බලාගෙන හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් පස්සේ මෙන්න මෙහෙම කියලා තිබුණා: “රැස්වීම න්‍යාය පත්‍රයට අනුව විනයකින් යුතුව ඉස්සරහට අරන් යන එක සභාපතිගේ සහ සම-සභාපතිගේ වගකීමක්. නැතුව සමහරු ඇවිත් මේ වගේ රැස්වීම් සර්කස් කූඩාරම් කරද්දී නිකන් බලාගෙන ඉන්න එක නෙවෙයි.”