June 12, 2026

මෙරට ජනතාව බදු බරින් පීඩිතව සිටීම සහ මෙරටට පැමිණෙන විදේශිකයින් එම බදු ක්‍රමයට යටත් නොවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ මෙරට ශ්‍රමිකයින් උදෑසන සිට රාත්‍රිය වන තුරු බදු ගෙවන පසුබිමක් තුළ පිටරැටියන් බදු නොගෙවා රටින් පිටව යාමට හේතුව කුමක් ද යන්නයි.

”ශ්‍රී ලාංකිකයෙක් උදේ පාන්දර නැගිට්ට වෙලාවේ ඉඳන් බදු ගෙවනවා. වැඩට එන වෙලාවේ බදු තියෙනවා. කන වෙලාවේ බදු තියෙනවා. ගෙදර යනකොටත් බදු තියෙනවා. රෑ වෙනකොටත් බදු තියෙනවා. හැබැයි මේ සුද්දෙක් මේ රටට ඇවිල්ලා තමාගේ තියෙන බදු ටික රජය වෙනුවෙන් උපයා ගන්න බැරිනම් මේකෙ ප්‍රශ්නෙ තියෙන්නේ අන්න එතනයි. මම සරලව කියනවා නම් ඔබෙන් ගත්ත අද දත්ත අනුව අමෙරිකානු ඩොලර් මිලයන තුනහමාරක් යනවා ආදායමක් ලබා ගන්න. මේකෙන් සීයට දෙකහමාරක් නිල නොවන මට්ටමට ආවොත් ඒකෙන් මේ රටට අහිමි වෙනවා රුපියල් කෝටි 700 – 1000 ත් අතර ප්‍රමාණයක්. දැන් මේක එන්නේ ඍජුව අපේ ආදායමට. ඉතිං සුද්දා ඇවිල්ලා බදු ගෙවන්නේ නැතිව ගියහම අපේ ලාංකිකයා වැඩ කරලා බදු ගෙවනවා උදේ ඉඳන් රෑ වෙනකම්. ඒ වගේම තමයි දෙවෙනි කොටස මේකෙ විදේශ විනිමය. ලාංකිකයට මෙහෙම බදු ගහනකොට සුද්දට මෙහෙම නිකන් යන්න දෙන්නේ ඇයි? මීට වැඩිය ක්‍රමවේදයක් අවශ්‍යයයි. බැරිවෙලාවත් හරියට බදු වෙලාවට දුන්නේ නැත්නම් උසාවි ගේන්න පුලුවන් තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒක නිසා අපේ ජනතාවටත් මේ සහනය දෙනව ද, නැත්නම් සුද්දගෙන් මේ ගාණ ගන්නවද කියන ප්‍රශ්නෙ තමයි මම අහන්නේ.” යනුවෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයා එහිදී අදහස් දැක්වීය.

ඒ වෙනුවෙන් ආණ්ඩු පක්ෂයෙන් පිළිතුරු ලබාදුන් අමාත්‍ය විජිත හේරත් පවසා සිටියේ ඒ සඳහා ක්‍රමවේදයක් මෙතෙක් නිවැරදිව සකසා නොමැති බවයි.

ඒ හේතුවෙන් අවුරුදු ගණනාවක් පුරාවට එවැනි බදු අයකරන ක්‍රම හඳුන්වා දී නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවේය.