June 10, 2026

ඉහළ බදු, ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළ දැමීම මෙන්ම ජීවන වියදම ඉහළ යාම හමුවේ මහජනතාව පරිත්‍යාග කළ දේ, ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ ආර්ථික සුභසාධනය නංවාලීමට හේතු වී ඇතැයි රජය විශ්වාස කරන්නේද යන්න පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය.

වැඩසටහන ආරම්භයේදී අපේක්ෂා කළ ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය, විදේශ ආයෝජන ගලා ඒම සහ අපනයන ව්‍යාප්තිය මෙතෙක් සාක්ෂාත් කරගෙන තිබේද යන්නත්, එසේ නොවන්නේ නම් එම අඩුපාඩුවලට හේතු මොනවාද යන්නත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් විමසා සිටියේය.

මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ඇතිව සිදුකළ ප්‍රතිසංස්කරණ මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ස්වයං රැකියාවල නියුතු වූවන්, වැටුප් ලබන සේවකයන් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි ඇති වූ බලපෑම රජය ඇගයීමට ලක් කර තිබේද යන්නත්, එවැනි ඇගයීමක සොයාගැනීම් මොනවාද යන්නත් දැන ගැනීමට අවශ්‍ය බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.

එමෙන්ම ඔහු ප්‍රශ්න කර සිටියේ නව IMF වැඩසටහනකට ඇතුළත් නොවී, රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට තරම් ප්‍රමාණවත් ආර්ථික ස්ථාවරත්වයක් සහ ණය තිරසාරත්වයක් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති බව රජය සලකා බලන්නේ යන්න පිළිබඳවයි.

ඉදිරියේදී තවත් මූල්‍ය අරමුදල් වැඩසටහනක් ගැන සලකා නොබලන්නේ නම්, ජීවන වියදම අඩු කිරීම, ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම, වර්ධනය තහවුරු කිරීම, ණය තිරසාරත්වය රැකගැනීම සහ මහජන සුභසාධනය ආරක්ෂා කිරීම සඳහා රජය සතු විකල්ප උපායමාර්ගය කුමක්දැයි පැහැදිලි කරන ලෙස ද මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.