June 21, 2026

සමාජ මාධ්‍ය සහ වෙනත් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කර ගනිමින්, මූල්‍යමය වාසි, ලිංගික සූරාකෑම් සහ වෙනත් අපරාධ ක්‍රියා සඳහා ඔවුන්ව මුළාකරන පුද්ගලයන් සම්බන්ධ සිදුවීම් ඉහළ යෑම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන් සමඟ මිත්‍ර වී, ඔවුන්ගේ සිත් දිනාගෙන, පසුව ඔවුන්ව ලිංගික අපයෝජනයට ලක්කිරීම හෝ ඔවුන් සතු මුදල් හා දේපළ වංචා කිරීම පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා ලැබී ඇති බවයි.

ඇතැම් සැකකරුවන් වින්දිත කාන්තාවන්ට මත්ද්‍රව්‍ය හෝ මත්කරන ද්‍රව්‍ය ලබාදී ඔවුන්ව සිහිනැති කර අපයෝජනය හෝ සොරකම් සිදුකර ඇති බවත්, තවත් සමහරු විවාහ පොරොන්දු දී කාන්තාවන්ගේ විශ්වාසය දිනාගෙන පසුව වංචනික ලෙස මුදල් හා දේපළ ලබාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

සමහර අවස්ථාවලදී මෙවැනි සිදුවීම් මිනීමැරුම් වැනි දරුණු ගණයේ අපරාධවලින් පවා කෙළවර වී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

බුද්ධි අංශ සහ ප්‍රජා පොලිස් ඒකක ඇතුළු දිවයින පුරා සිටින පොලිස් නිලධාරීන්ට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, එවැනි ක්‍රියාවලට සම්බන්ධ විය හැකි පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස් කරන ලෙසත් උපදෙස් දී ඇති බව ද එහි සඳහන් වේ.

සමාජ මාධ්‍ය හෝ වෙනත් අන්තර්ජාල ජාල හරහා හඳුනාගන්නා පුද්ගලයන්ට මුදල්, රන් ආභරණ හෝ වෙනත් වටිනා දෑ ලබා නොදෙන ලෙසත්, නන්නාදුනන පුද්ගලයන් සමඟ සංවේදී ඡායාරූප, වීඩියෝ හෝ පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත් පොලිසිය මහජනතාවට උපදෙස් දෙයි.

එමෙන්ම සැකකටයුතු දුරකථන ඇමතුම්, පණිවිඩ සහ ආගන්තුක පුද්ගලයන් හමු වීමට ලැබෙන ආරාධනා පිළිබඳව ද විමසිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙවැනි වංචාවකට හසු වූ අයෙක් හෝ ඒ පිළිබඳව දන්නා අයෙක් සිටී නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

එසේම 118, 119, 107 හෝ 109 යන පොලිස් හදිසි ඇමතුම් අංක මඟින් ද සහාය ලබා ගත හැකිය.

තම පෞද්ගලික ආරක්ෂාව, ගෞරවය සහ දේපළවලට තර්ජනයක් වන මෙවැනි වංචනික උපක්‍රමවලට හසු නොවී, නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.