June 21, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක මහා පරිමාණ වැඩපිළිවෙළ එහි අවසන් අදියරට පැමිණ ඇති බව බලධාරීහු විශ්වාස කරති. ඒ අනුව, නව ව්‍යවස්ථාව මේ වන විට මූලික වශයෙන් සකස් කර අවසන්ව ඇති අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සහ දේශීය බලධාරීන්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර එහි අවසන් නීතිමය සංශෝධන සිදුකරමින් පවතී.

පසුගිය අප්‍රේල් මාසයේදී ‘පරිවර්තන කමිටුව’ පත්කිරීමෙන් පසු සිදු වූ වැදගත්ම ප්‍රගතිය මෙය ලෙස සැලකෙන අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජයි ශා පසුගිය සිකුරාදා කොළඹ සිදුකළ නිල සංචාරයේදී ද ප්‍රධාන වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවාජිත් සයිකියා ද සමඟ පැමිණි ජයි ශා, මුලින්ම ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී කෙටි සාකච්ඡාවක නිරත වූ අතර, අනතුරුව රජය විසින් පත් කරන ලද ක්‍රිකට් පාලන තත්කාලීන කමිටුව හමුවිය.

පෞද්ගලික හේතූන් මත පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න සහ දැනට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින කමිටු සාමාජික කුමාර් සංගක්කාර මෙම සිකුරාදා සාකච්ඡාවලට සහභාගි වී නොසිටීම විශේෂත්වයකි.

මෙම හමුවේදී පරිවර්තන කමිටුව විසින් ජයි ශා වෙත නව ක්‍රිකට් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම වැදගත් පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් කමිටුව ඉටුකර ඇති කාර්යභාරය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී.

කමිටු සාමාජික, ජනාධිපති නීතිඥ දිනාල් පිලිප්ස්ගේ ප්‍රධානත්වයෙන් යුත් ව්‍යවස්ථා කමිටුවක් විසින් සකස් කරන ලද මෙම කෙටුම්පත, අනුමැතිය සඳහා වන මීළඟ අදියර වෙත යොමුකිරීමට පෙර, ඔවුන්ගේ නීති උපදේශක මෙන්ම අයි.සී.සී. හි හිටපු නීති ප්‍රධානී ඩේවිඩ් බෙකර්ගේ අවසන් නිරීක්ෂණ ලැබෙන තෙක් දැනට රඳවා තබා ඇත. 2007 සහ 2012 අතර කාලයේ අයි.සී.සී. හි ප්‍රධාන නීති නිලධාරියා ලෙස කටයුතු කළ බෙකර්, යෝජිත ව්‍යවස්ථාමය රාමුව නිවැරදි කිරීමේ උපදේශන භූමිකාවක් සඳහා පසුගිය සඳුදා සිට බදාදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳීසිටියේය.

නිලවරණයක් පැවැත්වීමට පෙර ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ අවසන් කිරීම තමන්ගේ අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයි.සී.සී. සභාපතිවරයාට දැනුම් දී ඇත. ඔවුන් විශ්වාස කරන්නේ වසර ගණනාවක් පුරා සංවිධානය තුළ පැවති අඩුපාඩු රාශියක් වළක්වා ගත හැකි පාලන රාමුවක් නව පරිපාලනයකට උරුම විය යුතු බවයි.

නිලධාරීන් විසින් සුහදශීලී සහ ඵලදායී ලෙස විස්තර කරන ලද මෙම හමුව, පෙර සිටි තේරී පත් වූ විධායක සභාව ඉවත් වීමෙන් පසු පරිවර්තන කමිටුව ක්‍රිකට් පරිපාලනයේ වගකීම භාරගත් දින සිට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අයි.සී.සී. වෙත සවිස්තරාත්මක යාවත්කාලීන කිරීමක් සැපයීය.

“ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිම කිරීම සඳහා අපේක්ෂිත කාලසීමාවන් සහ අදාළ නීතිමය හා ව්‍යවස්ථාපිත රාමුවට අනුකූලව නිසි පරිදි තේරී පත් වූ පරිපාලනයක් වෙත නැවත පාලනය පැවරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහිදී කරුණු පැහැදිලි කළා,” යැයි එම හමුවෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ ජනමාධ්‍ය නිවේදනයක දැක්වේ.

“මේ දක්වා අත්කර ගෙන ඇති සන්ධිස්ථාන සහ සුමට හා විනිවිදභාවයකින් යුත් සංක්‍රාන්තියක් සඳහා ගනු ලබන පියවර පිළිබඳව අයි.සී.සී. දූත පිරිස දැනුවත් කරනු ලැබුවා.”

කමිටු සාමාජික දිනාල් පිලිප්ස්ට අනුව, ජයි ශා මේ දක්වා ලබා ඇති ප්‍රගතිය අගය කර ඇති අතර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ දිශානතිය පිළිබඳව සෑහීමකට පත්ව ඇත. පාලනය ශක්තිමත් කිරීම, විනිවිදභාවය නැංවීම සහ ක්‍රීඩාවේ දිගුකාලීන අඛණ්ඩතාව සුරැකීම සඳහා සාමාජික මණ්ඩල වෙත සහයෝගය දැක්වීමට අයි.සී.සී. සතු කැපවීම ශා මෙහිදී නැවතත් අවධාරණය කළේය.

අයි.සී.සී. ය සඳහා පාලන ප්‍රතිසංස්කරණ සැමවිටම ප්‍රමුඛතාවක් වී ඇත. සාමාජික මණ්ඩල දේශපාලන මැදිහත්වීම්වලින් තොර විය යුතු බවට ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලය නිරන්තරයෙන් අවධාරණය කරන අතරම, හැකි ඉක්මනින් නිලවරණයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දිරිමත් කර ඇත. සිකුරාදා පැවැති සාකච්ඡාවලින් පැහැදිලි වූයේ, ඊළඟ නිලවරණයට පසුව නොව, ඊට පෙර අර්ථවත් ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුය යන පොදු එකඟතාවකට ඔවුන් පැමිණ ඇති බවයි.

මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්ද ව්‍යුහය මූලික වශයෙන් වෙනස් කිරීමයි. පෙර පැවැති නිලවරණවලදී නැවත නැවතත් මතු වූ සහ ක්‍රිකට් පරිපාලනය කෙරෙහි මහජන විවේචන එල්ල වීමට හේතු වූ ඡන්ද මිලදී ගැනීම්, අයුතු බලපෑම් සහ පරිපාලනමය උපාය සූත්‍ර වැළැක්වීමට නව ව්‍යවස්ථාව මඟින් අවස්ථා අවම කරනු ඇතැයි නිලධාරීහු බලාපොරොත්තු වෙති.

සකස්කර අවසන් කරන ලද කෙටුම්පත අයි.සී.සී. වෙත සහ ශ්‍රී ලංකාවේ නීති කෙටුම්පත්කරකයාගේ දෙපාර්තමේන්තුව වෙත එකවිට ඉදිරිපත් කිරීමට නියමිතය. අවශ්‍ය සංශෝධන සහ නීතිමය පරීක්ෂාවලින් පසුව, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල පාලන ලේඛනය බවට පත්වීමට පෙර, පාර්ලිමේන්තු සලකා බැලීම ඇතුළු දේශීය අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලියට යොමුකෙරේ.

“මෙම ව්‍යවස්ථාව අයි.සී.සී. ව්‍යවස්ථාවට සහ ලෝකයේ අනෙකුත් රටවල ව්‍යවස්ථාවන්ට ගැළපෙන පරිදි සකස් වෙනවා. අපේ ඉලක්කය ලෝක මට්ටමේ නිපැයුමක් බිහි කිරීමයි” යැයි පිලිප්ස් පැවසීය.

මෙම හමුවේදී සාකච්ඡා වූයේ පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව පමණක් නොවේ. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින්, ඔහුගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද දූරදර්ශී ව්‍යාපෘතියක් වන බැංගලෝරයේ පිහිටි අතිනවීන උසස් දක්ෂතා මධ්‍යස්ථානය සහ අහමදාබාද්හි පිහිටි ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩාංගණය නැරඹීම සඳහා පරිවර්තන කමිටුවට ආරාධනා කළ බව පිලිප්ස් පැවසීය.

“ඉන්දියාව ඔවුන්ගේ ක්‍රිකට් යටිතල පහසුකම් සහ පද්ධතීන් සංවර්ධනය කිරීමේදී ගෙන ඇති ප්‍රගතිශීලී සහ අර්ථවත් පියවරයන් වඩාත් හොඳින් වටහා ගැනීමට සහ ඉන් ඉගෙන ගැනීමට මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම සංචාරයෙහි නිරත වීමට අප බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව ලෝක ක්‍රිකට් බලවතෙකු ලෙස ස්ථාපිත කිරීමට මෙම මුලපිරීම් විශාල කාර්යභාරයක් ඉටු කර තිබෙනවා,” යැයි පිලිප්ස් වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක ද හමු වූ ජයි ශා, ක්‍රිකට් සංවර්ධනය, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට්, අයි.සී.සී. සහ බී.සී.සී.අයි. අතර පවතින අඛණ්ඩ හවුල්කාරිත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.

කෙසේවෙතත්, තම සභාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අයි.සී.සී. ය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැත.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කෙරෙහි විශ්වාසය නැවත ඇතිකිරීම අරමුණු කරගත් තවත් වැදගත් පියවරක් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය. දැනට ක්‍රියාත්මක පාලන සමාලෝචනයෙන් මතු වූ ප්‍රධාන නිර්දේශයක් වන, බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තු වූ අධිකරණ වෝහාරික විගණනයක් (forensic audit) සිදුකිරීම සඳහා ස්වාධීන විගණකවරයෙකු පත්කිරීමේ අවසන් අදියරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුවේ. මෙම විගණනය මඟින් පසුගිය වසරවල මූල්‍ය ගනුදෙනු, ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි සහ පරිපාලන භාවිතයන් පරීක්ෂා කිරීමට අපේක්ෂා කෙරේ.

පිටියෙන් පිටත මතභේද සමඟ දීර්ඝ කාලයක් තිස්සේ පොරබදමින් සිටින ආයතනයකට, ඉදිරි මාස කිහිපය ඕනෑම අන්තර්ජාතික තරගාවලියකට වඩා වැදගත් විය හැකිය. මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය අවසාන වශයෙන් තීරණය වන්නේ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමෙන් හෝ විගණනයක් අවසන් කිරීමෙන් පමණක් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර ගණනාවක් තිස්සේ ළඟාකර ගැනීමට අපොහොසත් වූ, එනම් ඔවුන් නියෝජනය කරන කණ්ඩායම මෙන්ම මහජන විශ්වාසය දිනාගත් පරිපාලනයක් බිහිකිරීමට හැකිවේද යන්න මතය.

(උපුටාගැනීම – Sunday Times)