June 17, 2026

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, සංවිධානාත්මක අපරාධ සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යාමට එරෙහිව, ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමේ සටන තදින්ම ක්‍රියාත්මක කිරීමට G7 නායකයෝ ප්‍රතිඥා දී සිටිති.

ඔවුන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනයක් මඟින් එම නායකයින් සඳහන් කළේ තම මිත්‍ර රටවල් වන බ්‍රසීලය සහ දකුණු කොරියාව ද මෙම ප්‍රකාශයට සහය පළ කර ඇති බවයි.

“ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි අපගේ සටන තවදුරටත් දැඩි කිරීමට G7 නායකයින් වන අප කැපවී සිටිනවා,” යැයි එම ප්‍රකාශයේ සඳහන් වේ.

වාර්තාගත මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, සංවිධානාත්මක අපරාධ කල්ලිවල සූක්ෂ්ම ක්‍රියාකලාපයන් සහ ගෝලීය ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මෑත වසරවලදී ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම විශාල ලෙස ව්‍යාප්ත වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

මහජන සෞඛ්‍යය, ආර්ථික සමෘද්ධිය, සමාජීය සුරක්ෂිතතාව සහ ගෝලීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි දේශසීමා විනිවිද යන සංවිධානාත්මක අපරාධ මැඩලීම අත්‍යවශ්‍ය බව එම නායකයෝ අවධාරණය කළහ.

“අපගේ පොදු වටිනාකම්, නීති සහ ප්‍රමිතීන්ට අනුකූලව මත්ද්‍රව්‍ය සැපයුම මෙන්ම ඉල්ලුම ද අඩු කිරීම සඳහා, සාක්ෂි මත පදනම් වූ සහ සමස්ත රජයකම මැදිහත්වීම සහිත ඒකාබද්ධ වැඩපිළිවෙළක් ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන් අඩපණ කිරීමට අප දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන සිටිනවා,” යැයි එහි වැඩිදුරටත් දැක්වේ.

මේ අනුව, සවිස්තරාත්මක ප්‍රවේශයක් ඔස්සේ රාජ්‍ය ආයතන සහ පද්ධතිවල ශක්තිමත්භාවය වර්ධනය කරන අතරම, සංවිධානාත්මක අපරාධ කල්ලි වැළැක්වීම, විමර්ශනය කිරීම සහ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා වන සම්බන්ධීකරණ කටයුතු ඉහළ නැංවීමට ද G7 නායකයෝ ප්‍රතිඥා දුන්හ.

විශේෂයෙන්ම, ලෝක ව්‍යාප්ත මත්ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ප්‍රධානතම මාර්ගය මුහුදු මාර්ගය බව හඳුනාගෙන ඇති බැවින්, මෙම නීතිවිරෝධී නැව්ගත කිරීම් වැටලීමට සහ ගෝලීය සැපයුම් දාමයන් ආරක්ෂා කිරීමට සමුද්‍රීය සහයෝගීතාව වඩාත් ශක්තිමත් කිරීමට ඔවුහු එකඟ වූහ.

“කැනේඩියානු සභාපතිත්වය යටතේ ලබාගත් ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නැව්ගත කිරීම් වැටලීම සඳහා සමුද්‍රීය සහයෝගීතාව තීව්‍ර කිරීමටත්, මත්ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය ගලා ඒමට එරෙහිව මුහුදු වරායන් මෙන්ම සමස්ත ගෝලීය සැපයුම් දාමයේම ආරක්ෂාව ශක්තිමත් කිරීමටත් අප කැපවී සිටිනවා,” යැයි එම ප්‍රකාශයේ සඳහන් වේ.