June 20, 2026

මහනුවර, කුණ්ඩසාලේ වරපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක නිදන කාමරයක් තුළ තිබී 23 හැවිරිදි විවාහක කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

ඇයගේ සැමියා පදිංචිව සිටි නිවසේ නිදන කාමරයක තිබී අද (20) අලුයම 2:00ට පමණ මෙම මළසිරුර සොයාගෙන ඇති බව වාර්තා වේ.

මියගිය කාන්තාවගේ සැමියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ඇයට පහරදී ඝාතනය කර ඇති බවට මියගිය කාන්තාවගේ ඥාතීහු චෝදනා කරති.

කෙසේවෙතත්, ඇයගේ සැමියා ප්‍රකාශ කර ඇත්තේ අද අලුයම තමන් සංගීත සංදර්ශනයකට සහභාගී වී යළි නිවසට පැමිණි අවස්ථාවේදී ඇය ගෙළ වැලළාගෙන සිටිනු දුටු බවයි.

පසුව තමන් ඇය ගෙළ වැලලාගෙන සිටි ලණුව කපා සිරුර ඇඳ මතට ගත් බවද ඔහු පවසා තිබේ.

මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන පරිදි මෙම යුවළ විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව කියන සැමියාගෙන් එල්ල වූ හිරිහැර සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම බලගොල්ල පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

සැමියාගේ පහරදීම් හේතුවෙන් ඇය නිතර මාපියන්ගේ නිවසට පැමිණ ඇති අතර, ඇය දික්කසාද වීමටද සැලසුම් කර තිබූ බව ඥාතීහු වැඩිදුරටත් පවසති.

මේ අතර, මියගිය කාන්තාව විසින් ලියන ලදැයි කියන ලිපියක් සැමියාගේ පවුලේ අය විසින් පොලිසියට සහ මහේස්ත්‍රාත්වරයා වෙත භාරදී තිබේ.

එහෙත් එම ලිපියේ ඇති අත්අකුරු තම දියණියගේ නොවන බව මියගිය කාන්තාවගේ ඥාතීහු කියාසිටිති.

සිද්ධිය වූ ස්ථානයට මියගිය කාන්තාවගේ ඥාතීන් රැස්වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබේ.

අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහල වෙත රැගෙන යන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බලගොල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.