June 20, 2026

මෙතෙක් කල් ලෝකයේ වෙනත් කිසිදු රටකට නොදෙවැනි ලෙස දැඩි සෞඛ්‍ය සහ නිරෝධායන නීති රීති පවත්වාගෙන යමින්, මාරාන්තික ‘H5N1’ කුරුලු උණ (Bird Flu) වෛරසයෙන් බේරී සිටි එකම මහද්වීපය වූ ඕස්ට්‍රේලියාවෙන් ද පළමු වරට කුරුලු උණ ආසාදිත පක්ෂියෙකු හමු වී තිබෙනවා.

බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගිනිකොන දෙසින් පිහිටි එස්පරන්ස් නමැති ප්‍රදේශයෙන් අසනීප වී සිටි මුහුදු පක්ෂියකු (Seabird) සොයාගෙන ඇති අතර, සිදුකළ පරීක්ෂණවලදී ඌට මෙම මාරාන්තික වෛරසය වැළඳී ඇති බව ස්ථිරවම තහවුරු වී තිබෙනවා.

මීට පෙර 2025 වසරේ අගභාගයේදී ඕස්ට්‍රේලියානු මහද්වීපයට කිලෝමීටර් 4,100ක් ඈතින් පිහිටි ඇන්ටාක්ටික් කලාපයට අයත් දූපතකින් මෙවැනි ආසාදිත පක්ෂියකු හමුවුවද, ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් (Mainland) මෙවැනි ආසාදිතයකු හමු වූ පළමු අවස්ථාව මෙයයි.

මේ තත්ත්වයත් සමඟ ඕස්ට්‍රේලියාව පුරා ලොකු කලබලයක් ඇති වී තිබෙනවා. සිඩ්නි නුවරදී මාධ්‍ය අමතමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කළේ මෙය ඉතා බරපතල තත්ත්වයක් බවයි:

“මෙය ඇත්තටම කනස්සල්ලට කරුණක්. වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අපගේ රජය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.”

ලෝකයේ අනෙක් රටවල මෙම කුරුලු උණ වෛරසය නිසා පසුගිය වසර කිහිපය තුළ කුරුල්ලන් සහ කුකුළන් මිලියන සිය ගණනක් මරා දැමීමට සිදුවුණා. මේ නිසා ලෝක වෙළෙඳපොළේ ආහාර සැපයුමට බාධා එල්ල වී, බිත්තර සහ කුකුළු මස් මිල අහස උසට පැන තිබෙනවා.

කෙසේවෙතත්, ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම අමාත්‍ය ජූලි කොලින්ස් කැන්බරා නුවර සිට ප්‍රකාශ කළේ, තවමත් මෙම වෛරසය ඔස්ට්‍රේලියාවේ ගොවිපළවල්වල සිටින කුකුළන් හෝ වෙනත් සතුන් වෙත ව්‍යාප්ත වී නොමැති බවයි. එමෙන්ම පක්ෂීන් විශාල වශයෙන් මියයාමේ සිදුවීම්ද වාර්තා වී නොමැති නිසා ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බව ඇය පවසනවා.

දැනටමත් ඕස්ට්‍රේලියානු බලධාරීන් එරට ගොවිපළවල්වල ජෛව ආරක්ෂණ උපක්‍රම දැඩිකර ඇති අතර, අවදානමට ලක්විය හැකි පක්ෂි විශේෂ සඳහා එන්නත් ලබාදීමට සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.