June 18, 2026

ළමයින් සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම නියාමනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය විසින් විශේෂ යෝජනාවක් සම්මත කර තිබේ.

ඒ අනුව එරට තුළ සමාජ මාධ්‍ය ගිණුමක් භාවිත කළ හැකි අවම වයස් සීමාව වයස අවුරුදු 15 ක් ලෙස නියම කර ඇත.

අදාළ බලධාරීන් සමඟ සම්බන්ධ වෙමින්, තාක්ෂණික සහ නියාමන සූදානම තහවුරු කරගැනීම සඳහා මෙම නව ප්‍රමිතීන් ක්‍රමයෙන් ක්‍රියාවට නැංවීමට සමාජ මාධ්‍ය ආයතන වෙත මාස 12 ක උපරිම සංක්‍රාන්ති කාලසීමාවක් ලබා දී ඇති බව රජය ප්‍රකාශ කළේය.

ළමයින් අතර සමාජ මාධ්‍ය භාවිතය සීඝ්‍රයෙන් ඉහළ යාම සහ ඒ ආශ්‍රිතව මතුවන ඩිජිටල් අභියෝග මෙන්ම අවදානම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

නුසුදුසු අන්තර්ගතයන්ට නිරාවරණය වීම, අනාරක්ෂිත සබඳතා, පුද්ගලික දත්ත එක්රැස් කිරීම සහ සමාජ මාධ්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වීම වැනි ගැටලු මීට ප්‍රධාන හේතු වී තිබේ.

තාක්ෂණයේ ප්‍රතිලාභ ලබන අතරතුර, ඩිජිටල් අවකාශය තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය මෙයින් අවධාරණය කෙරේ.

ලෝකයේ සිදුවන ඩිජිටල් පරිවර්තනයන්ට ගැළපෙන පරිදි, දරුවන්ගේ ආරක්ෂාව පෙරදැරි කරගනිමින් උසස් ව්‍යවස්ථාදායක ආකෘතීන් සකස් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන සක්‍රීය දායකත්වය මෙම පියවරෙන් මැනවින් පිළිබිඹු වන බව ද රජය පෙන්වා දෙයි.