June 18, 2026

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ, තමන් දැනට දියත්කර ඇති උපවාසය කිසිසේත්ම අත්නොහරින බවට යළිත් අවධාරණය කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සලේ හමුවීමට ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා ගිය අවස්ථාවේදී හිටපු බුද්ධි ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටිය වෙත යෑමට කිසිදු සූදානමක් නැති බවත්, ඊට වඩා මරණය සිය දහස් වාරයක් සුදුසු බවත්ය.

මෙම හමුවේදී නීතිඥවරයා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත සිදුකර ඇති විශේෂ ඉල්ලීම පිළිබඳව ද සුරේෂ් සලේ දැනුම්වත් කර ඇත.

ඒ අනුව, සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන උපවාසය නතර කරන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියද සලේ එය දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් රඳවා සිටි කුටිය ‘නිරයක්’ බඳු යැයි පවසා ඇති හිටපු අධ්‍යක්ෂවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂවරයා තමන් සමඟ පෞද්ගලික වෛරයකින් පසුවන බැවින් තමන්ට සාධාරණයක් ඉටුනොවන බව ද පවසා ඇත.

මේ අතර, පසුගිය මාර්තු 8 වැනිදා සුරේෂ් සලේව ප්‍රසිද්ධියේ දැඩි පරීක්ෂාවකට ලක්කළ බව කියන සිදුවීමට අදාළ සීසීටීවී වීඩියෝ දර්ශන තමන් සන්තකයේ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

දත්ත ගබඩාවේ පවතින්නේ මාසයකට පෙර දර්ශන පමණක් බැවින් එම දර්ශන ස්වයංක්‍රීයව මැකී ගොස් ඇති බව CID ය පවසයි.

කෙසේවෙතත්, අතුරුදහන් වී ඇති බව කියන එම වීඩියෝ දර්ශන නැවත යථා තත්ත්වයට පත්කර (Recover) ලබාගැනීම සඳහා බාහිර පාර්ශ්වයක පරිගණක හා තාක්ෂණික සහාය ලබාගැනීමට මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව ඇත.

මෙම සමස්ත සිදුවීමට අදාළ තවත් විශේෂ වාර්තා කිහිපයක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති අතර, ඒවා ලබන 26 වැනිදාට පෙර තමන් වෙත ලබාදෙන ලෙස ද නියෝග කර තිබේ.