June 18, 2026

ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නුවර පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද රහසිගත මෙහෙයුමකදී, මුදලට ලිංගික සේවා ලබාගැනීමට තැත්කිරීමේ (වේශ්‍යා වෘත්තියේ යෙදීමට පොළඹවා ගැනීමේ) චෝදනා මත ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවට අනුව, එහි මිනිස් ජාවාරම් මර්දන අංශය විසින් ජුනි 13 වනදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත්දෙනා අතර 32 හැවිරිදි පූජ්‍ය මහයායේ විනීත හිමියන් ද සිටී.

මුදල් ගෙවා ලිංගික සේවා ලබාගැනීමට තැත් කිරීමේ චෝදනා මත මෙම සැකකරුවන් හත්දෙනාම බොස්ටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වාණිජමය වශයෙන් සිදුවන ලිංගික සූරාකෑම් මැඩපැවැත්වීම සහ මිනිස් ජාවාරමට ගොදුරුවූවන් හඳුනාගැනීම අරමුණු කරගනිමින් මෙම රහසිගත පොලිස් මෙහෙයුම දියත් කළ බව බොස්ටන් පොලිසිය පවසයි.

පූජ්‍ය මහයායේ විනීත හිමියන් 2024 වසරේදී ඇමරිකාවේ ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ ආගමික උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු උන්වහන්සේ එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බව පවසන පොලිසිය, මිනිස් ජාවාරම් කටයුතුවලට අදාළ කිසියම් තොරතුරක් වෙතොත් විමර්ශකයන් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේවෙතත්, මෙම චෝදනා මෙතෙක් අධිකරණය හමුවේ ඔප්පු වී නොමැති අතර, වරදකරුවන් වන තෙක් චෝදනා ලැබූ සියලුම පුද්ගලයන් නිවැරදිකරුවන් ලෙස සලකනු ලැබේ.