June 17, 2026

ප්‍රංශයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුව අතරතුර, ලොව බලවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දෙක වන අමෙරිකාව සහ ඉන්දියාව අතර සබඳතාවල නව පරිච්ඡේදයක් සලකුණු වී තිබේ.

එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා, වත්මන් ලෝක දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්ව ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වත්මන් ගෝලීය අභියෝග ජයගැනීමේදී නව දිල්ලිය (ඉන්දියාව) අත්‍යවශ්‍ය සහකරුවෙකු වන බව අවධාරණය කළේය.

විශේෂයෙන්ම බටහිර ආසියානු කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා ඉන්දියාව විශ්වාසවන්ත මිත්‍රයෙකු” ලෙස විශාල කාර්යභාරයක් ඉටු කරන බව ඔහු පැවසීය.

ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ,

“ඉන්දියාව සෑම ක්ෂේත්‍රයකදීම විශාල කාර්යභාරයක් ඉටු කරනවා. නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන තාක් කල් ඉන්දියාව සැමවිටම පෙරමුණේ පසුවනු ඇතැයි මට විශ්වාසයි.” යනුවෙන් ට්‍රම්ප් එහිදී පැවසුවේය.

දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ පෞද්ගලික සබඳතාවල ප්‍රගතිය අගය කළ ට්‍රම්ප්, අමෙරිකාව සහ ඉන්දියාව අතර නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට ඉතා ආසන්න මට්ටමක පවතින බවද අනාවරණය කළේය.

මේ අතර, බටහිර ආසියාවේ සාමය උදෙසා වොෂින්ටනය සහ ජනාධිපති ට්‍රම්ප් ගන්නා රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇගයීමට ලක්විය.

ගල්ෆ් කලාපයේ ස්ථාවරත්වය ලෝක ආර්ථිකයට සෘජුවම බලපාන බව පෙන්වා දුන් අගමැතිවරයා, ලෝක වෙළඳාමේ ප්‍රධානතම මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය කිසිදු බාධාවකින් තොරව විවෘතව තැබීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවේදී ඉන්දීය අගමැතිවරයා මතු කළ සුවිශේෂීම සහ මානුෂීය කරුණ වූයේ, නොසන්සුන් මුහුදු කලාපවල සේවය කරන වාණිජ නැව් කාර්ය මණ්ඩලවල සහ ඉන්දීය නාවිකයින්ගේ ආරක්ෂාවයි.

ගල්ෆ් කලාපයේ පවතින යුදකාමී වාතාවරණය හමුවේ තම රටේ නාවිකයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම ඉන්දියාවේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් බව පැවසූ මෝදි, කලාපය තුළ අලුතින් ගොඩනැඟෙන සාමකාමී වටපිටාව යටතේ නාවිකයින්ගේ ආරක්ෂාව තහවුරු වනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව ප්‍රකාශ කළේය.