June 17, 2026

බන්ජි පැනීමේ (Bungee Jumping) ක්‍රීඩාවේ නිරත වීමට ගිය 21 හැවිරිදි තරුණියක, ආරක්ෂිත කඹය සවි නොකර පාලමකින් පහළට ඇද දමා ජීවිතක්ෂයට පත්වීමේ ශෝකී පුවත සැළවී දින කිහිපයක් ගතවීමටත් මත්තෙන්, බ්‍රසීලයෙන් තවත් එවැනිම අවාසනාවන්ත පුවතක් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රොස්මරී සුසාර්ට් ගාර්ෂියා නමැති 59 හැවිරිදි කාන්තාවකි.

ඇය කෘමි විකර්ෂක දියරයක් ඇඟ ගල්වන්නට යාමේදී ලිස්සා ගොස් අඩි 100ක ප්‍රපාතයකින් පහළට වැටී මියගොස් ඇත.

මෙම අනතුර රියෝ ද ජැනයිරෝ නුවරට ආසන්න මරිකා ප්‍රදේශයේ පිහිටි ගෘටාස් ඩෝ ස්පාර් නැමැති සංචාරක කලාපයේදී ඉකුත් ඉරිදා දිනයේදී සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ඇය තවත් පිරිසක් සමඟ එම ප්‍රදේශයේ පාගමනින් සංචාරයක නිරත වෙමින් සිට ඇත. එහිදී කඳු මුදුනක පිහිටි නැරඹුම් මැදිරියක් ආසන්නයේ ඇති කෙටි මාවතකට පිය නැගූ ඇය, තම පාදයකට කෘමි විකර්ෂක දියරය ඉසීම සඳහා කකුල ඉහළට ඔසවා ඇත. එම අවස්ථාවේදී ඇයට තම සිරුරේ සමබරතාවය ගිලිහී ගොස් ඇති අතර, ඇය ක්ෂණිකවම කඳු මුදුනෙන් පහළට ඇද වැටී තිබේ.

සිද්ධිය ඇසින් දුටු ජියෝවානි මැක්සිමිනෝ නමැත්තෙකු බ්‍රසීල මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඇය වැටෙන අවස්ථාවේදී ඔවුන්ගේ සංචාරක මඟපෙන්වන්නා ඇයව බේරාගැනීම සඳහා ඉදිරියට පැන ඇගේ අතින් ඇල්ලීමට උත්සාහ කළ බවයි.

මඟපෙන්වන්නා ඇයව අල්ලාගන්න හැදුවා. ඒ වෙලාවේ ඔහුත් බිමට වැටෙන්න ගියේ. ඔහු ඇය දෙසට පැනලා ඇයව අල්ලන්න හැදුවත්, ඔහුට අහුවුණේ ඒ අසල තිබුණු ගසක මුලක් විතරයි,” යනුවෙන් මැක්සිමිනෝ පවසා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී ඇය හිස්වැසුම් සහ අත් වැසුම් ඇතුළු අවශ්‍ය ආරක්ෂිත උපකරණ පැළඳ සිට ඇතත්, මෙම ඇද වැටීම අතිශය වේගයෙන් සිදුවූවක් බව ඇසින් දුටුවෝ පවසති. සිද්ධිය වූ දින සවස් කාලයේදී ප්‍රදේශයේ ගිනි නිවන භටයින් විසින් ප්‍රපාතයට ඇද වැටුණු ඇගේ සිරුර සොයාගෙන ඇත.