June 17, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්, යෝෂිත රාජපක්ෂ අද (17) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අල්ලස් කොමිෂන් සභාව හමුවේ පෙනීසිටි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ 2008 වසරේදී ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියට බැඳීමට අදාළව ක්‍රියාත්මක වන විමර්ශනයක් පදනම් කරගනිමිනි.

මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

ඒවා වන්නේ, යෝෂිත රාජපක්ෂව නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස බඳවා ගැනීමේදී, එවකට පැවති අධ්‍යාපන සුදුසුකම් රීති සංශෝධනය කිරීම සහ රාජ්‍ය ප්‍රතිපාදන (මහජන මුදල්) භාවිත කරමින් බ්‍රිතාන්‍ය නාවික ඇකඩමියේ විශේෂ පුහුණුව ලබාගැනීම ය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (16) දින ඔහු කැඳවා තිබුණද, පවතින අධිකරණ කටයුත්තක් හේතුවෙන් තමන්ට පැමිණීමට නොහැකි බව ලිපියක් මඟින් කොමිසමට දැනුම් දී තිබිණි. ඒ අනුව කොමිෂන් සභාව කළ නැවත දැනුම්දීමකට අනුව ඔහු අද දින එහි පැමිණ තිබිණි.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ අද පස්වරුවේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.