June 17, 2026

ලංකාවෙන් බිහිවුණු සුපිරි වේගපන්දු යවන්නෙක් වගේම ලෝක ක්‍රිකට් පිටියේම ‘බේබි මාලිංග’ විදිහට අතිශය ජනප්‍රිය මතීෂ පතිරණ ප්‍රංශයේදී සාර්ථක සැත්කමකට මුහුණ දී තිබෙනවා.

ඔහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ බරපතළ ආබාධයක් සඳහා මෙලෙස සැත්කමක් කිරීමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මතීෂගේ කළමනාකරු වන අමිල කලුගලගේ මේ පිළිබඳව නිල වශයෙන් තොරතුරු තහවුරු කරමින් මෙසේ පවසා තිබෙනවා.

“මතීෂගේ සැත්කම ඉතාමත් සාර්ථකව නිමවුණා. ඔහු දැන් ප්‍රංශයේ ඉඳන්ම සුවය ලැබීමේ සහ පුනරුත්ථාපන කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ. මේ මුළු ක්‍රියාවලිය පුරාම මතීෂගේ සුවදුක් බලමින් උපරිම සහයෝගය දුන්නු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ අයි.පී.එල්. එකේ ඔහුගේ කණ්ඩායම වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අපේ විශේෂ ස්තූතිය හිමිවෙනවා.”

මතීෂ මේ වෙලාවේ මානසිකව වැටිලා නැති බවත්, ඉතා ඉක්මනින් සුවය ලබා තමන් ආදරය කරන ක්‍රිකට් පිටියට වෙනදාටත් වඩා ශක්තිමත්ව නැවත පැමිණීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසුවන බවත් ඔහුගේ කළමනාකරු වැඩිදුරටත් පවසා තිබෙනවා.

සැත්කම සාර්ථක වුවත් මතීෂට නැවතත් සුපුරුදු පරිදි පන්දු යැවීමට නම් තව දින කිහිපයක් පුනරුත්ථාපන කටයුතුවල නිරත වීමට සිදුවනවා. ඔහු නැවත තරග බිමට පිවිසෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ලංකාවේ අපේ සුපිරි කොල්ලාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරමු!