June 17, 2026

2026 අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වත්මන් ලෝක ශූරියන් වන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් සුවිශේෂී ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

සවුත්හැම්ප්ටන්හි පැවැති මෙම තරගයේදී නිලක්ෂිකා සිල්වා දියත් කළ විශිෂ්ඨ නොදැවුණු අර්ධ ශතකය ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවරිය බවට පත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කළේය.

ඔවුන් වෙනුවෙන් සොෆී ඩිවයින් සහ ඇමෙලියා කර් ලකුණු 45 බැගින් ලබාගත්හ.

පන්දු යැවීමේදී කවිෂා දිල්හාරි ලකුණු 35කට කඩුලු 2ක් බිඳහෙළුවාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 55කට කඩුලු 4ක් බිඳවැටී දැඩි අසීරුතාවකට පත්ව සිටියේය.

නායිකා චමරි අතපත්තු ලකුණු 27කටත්, විශ්මි ගුණරත්න ලකුණු 17කටත් දැවීගියේය.

කෙසේවෙතත්, ඉන්පසු පිටියේ එක්වූ නිලක්ෂිකා සිල්වා සහ කවිෂා දිල්හාරි (17) 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම ස්ථාවර කළහ.

කවිෂාගේ දැවීයෑමෙන් පසු, නිලක්ෂිකාට අනගි සහායක් දුන් කෞෂිණී නුත්‍යංගනා නොදැවුණ ලකුණු 24ක් රැස්කළාය. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 48ක සබඳතාවක් පවත්වමින් පන්දුවාර 19.4කදී කඩුලු 5ක් පමණක් දැවී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

නිලක්ෂිකා සිල්වා පන්දු 36කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 54ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්වූවාය.

මෙම පරාජයත් සමඟ වත්මන් ලෝක ශූර නවසීලන්තයට තරගාවලියේ ඉදිරි ගමන දැඩි අවදානමකට ලක්ව ඇත.