June 15, 2026

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය A කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් සුපිරි පන්දුවාරයේදී අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 4ක් ලබාගත් ශ්‍රී ලංකා A කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි ප්‍රථම ස්ථානය තහවුරු කර ගැනීමට ද සමත් වී තිබේ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය A කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී ලකුණු 265ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා A කණ්ඩායම ද පන්දුවාර අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 265ක්ම ලබා ගැනීම නිසා දෙපිලේම ලකුණු සම විය.

ඒ අනුව තරගයේ තීරණය සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු විය. කෙසේ වෙතත්, මෙය දිවා තරගයක් වූ බැවින් පිටියේ ආලෝක තත්ත්වය මත සුපිරි පන්දුවාරය පැවැත්වීම පිළිබඳව විනිසුරුවරුන් තීරණයක් ගැනීමට යාමේදී, ඊට එරෙහිව ඉන්දීය A නායක තිලක් වර්මා විනිසුරුවරුන් සමඟ පිටිය මැද උණුසුම් වචන හුවමාරුවක නිරත වන ආකාරය දැකගත හැකි විය.

විනිසුරු තීරණයෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ සහන් ආරච්චි සුපිරි පන්දුවාරයේ ඉනිම ආරම්භ කළහ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුව ඉන්දීය පන්දු යවන්නා විසින් පිතිකරුගේ ඉණෙන් ඉහළට යොමු කිරීම නිසා විනිසුරුවරයා එය නිපන්දුවක් ලෙස සංඥා කළේය.

එම තීරණය දෙන විටත් ඉන්දීය ක්‍රීඩකයින් පිටියෙන් ඉවතට ගොස් සිටි අතර, යළි අවසන් පන්දුව යැවීම සඳහා විනිසුරුවරුන් ඔවුන්ව පිටියට කැඳවද්දී ඉන්දීය නායක තිලක් වර්මා ඊට දැඩි විරෝධය පළ කරමින් නැවත වරක් විනිසුරුවන් සමඟ දැඩි උණුසුම් වචන හුවමාරුවක නිරත විය. ඉන්දීය නායකයාගේ මෙම නොහොබිනා හැසිරීම් මැද අවසන් පන්දුවට ද සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයේදී ලකුණු 17ක් රැස් කළේය.

ලකුණු 18ක අපහසු ඉලක්කයක් හඹා යාම සඳහා ඉන්දියාව වෙනුවෙන් සූරියන්ෂ් ෂෙඩ්ජ් සමඟ 15 හැවිරිදි නවක ක්‍රීඩක වෛභව් සූර්යවංශි පිටියට පිවිසියහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් තීරණාත්මක සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණේ කුගදාස් මාතුලන් වෙතය.

ඉන්දීය පිතිකරුවන්ගේ අහංකාර අභිමානය පිටිය තුළම සුනුවිසුනු කළ කුගදාස්, සුවිශේෂී සහ නිවැරදි පන්දු යැවීමක නිරත වෙමින් ඉන්දීය පිලට ලබා දුන්නේ ලකුණු 9ක් පමණි. එහිදී ඔහුට එරෙහිව එල්ල කළ හැකි වූයේ එක් හතරේ පහරක් පමණි. ඒ අනුව සුපිරි පන්දුවාරයෙන් ලකුණු 8ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.

තරගය අවසන් වීමෙන් පසුව ද පිටිය තුළ අමිහිරි සිදුවීමක් වාර්තා විය. එහිදී ඉන්දීය 15 හැවිරිදි ක්‍රීඩක වෛභව් සූර්යවංශි, ශ්‍රී ලංකා A කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ උණුසුම් වචන හුවමාරුවක නිරත වන ආකාරය කැමරාවල සටහන් විය.