June 12, 2026

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පූර්ණ සහයෝගය ඇතිව, ඉන්දියාව විසින් එබෝලා වෛරසයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරීමේ හදිසි මෙන්ම සුවිශේෂී වගකීම භාරගෙන තිබේ.

මෙම මාරාන්තික රෝගය 2026 මැයි මැද භාගයේදී ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයෙන් වාර්තා විය.

මෙම එබෝලා ආසාදිතයන් වාර්තා වීමත් සමඟ, විශේෂයෙන්ම මධ්‍යම අප්‍රිකානු කලාපය තුළ මතුව ඇති දැඩි අවදානම සැලකිල්ලට ගනිමින්, රෝග නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට සහ දැඩි දේශසීමා පාලන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට රටවල් රැසක් පුළුල් පියවර ගෙන ඇත.

මෙම වෛරස් ව්‍යාප්තිය ‘ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්’ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

එහිදී ඔවුන් අවධාරණය කළේ දේශසීමා හරහා සිදුවන මිනිස් සංක්‍රමණ සමීපව නිරීක්ෂණය කිරීමේ සහ වෛරස් සම්ප්‍රේෂණය පාලනය කිරීමේ අවශ්‍යතාවයි.

ඒ අනුව, සැකකටයුතු රෝගීන් හඳුනාගෙන ඔවුන් වෙන්කර තැබීම සඳහා විවිධ රටවල් විසින් මෙතෙක් පැවති පරීක්ෂණ ක්‍රියාපටිපාටි සහ සම්බන්ධීකරණ කටයුතු සමාලෝචනය කර, නව ක්‍රමවේදයන් අනුගමනය කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර, ඉන්දියාවේ සේරම් ආයතනය (SII), ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ වසංගත සූදානම්තා නවෝත්පාදන සන්ධානය සමඟ එක්ව එබෝලා වෛරසයේ ‘බන්ඩිබුගියෝ’ ප්‍රභේදය ඉලක්ක කරගනිමින් නව එන්නතක් නිපදවීමට කටයුතු කරමින් සිටී.

මෙම විශේෂිත ප්‍රභේදය සඳහා දැනට අනුමත කරන ලද කිසිදු එන්නතක් නොමැති බැවින්, වෛරස් වාහක තාක්ෂණය භාවිත කරමින් මෙම එන්නතේ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීමට සේරම් ආයතනය පියවර ගෙන ඇත.