June 13, 2026

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (පෞද්ගලික) සමාගමේ (Kasagala Green Plantation (Pvt) Ltd) අධ්‍යක්ෂවරයෙකු විසින් රූපවාහිනී වැඩසටහනකදී කරන ලද ප්‍රකාශ සත්‍ය විරෝධී, නොමඟ යවන සුළු සහ කිසිදු නීතිමය පදනමකින් තොර ප්‍රකාශ බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර සිටියි.

ශ්‍රී මහ බැංකුව ජූනි 12 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මල්වත්තගේ රංජිත් නන්දන පීරිස් නැමැත්තා ජූනි 8 වැනිදා ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) විකාශය වූ ‘පිණි වියන’ වැඩසටහනට එක්වෙමින් අදාළ ප්‍රකාශය කර ඇති බවයි.

තම සමාගම මහ බැංකුවේ නියාමනයට ලක්වන බවත්, සෑම මාස හයකට වරක්ම නියාමන ආයතනය වෙත තොරතුරු ඉදිරිපත් කරන බවත්, යම් ගැටලුවක් මතු වුවහොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ පරීක්ෂාවට ලක්වන බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබිණි.

මෙම ප්‍රකාශයන් නිල වශයෙන් සහ තරයේ ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා මහ බැංකුව, එම වැඩසටහන අතරතුර ඉදිරිපත් කරන ලද තොරතුරු සාවද්‍ය මෙන්ම මහජනතාව නොමඟ යවන සුළු ඒවා බව අවධාරණය කරයි.

රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙම වැඩසටහන නැරඹූ මහජනතාවට මෙම ප්‍රකාශ හේතුවෙන් බරපතළ හානියක් සිදුවීමේ හැකියාවක් පවතින බව ද මහ බැංකුව තවදුරටත් පෙන්වාදෙයි.

මහ බැංකුව හෙළිදරව් කරන්නේ, කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගම නීතියට පටහැනිව මුදල් ව්‍යාපාර පවත්වාගෙන ගොස් තිබේද නැතහොත් පවත්වාගෙන යමින් සිටින්නේද, නැතහොත් මහජනතාවගෙන් තැන්පතු භාරගෙන තිබේද යන්න සම්බන්ධයෙන් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මේ වන විට විමර්ශනයක් සිදුවෙමින් පවතින බවයි.

මෙම ආයතනය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින මහ බැංකුව, එම සමාගම අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශවල කිසිදු වලංගුභාවයක් නොමැති බව ද පැහැදිලි කර සිටියි.