June 13, 2026

වත්මන් ආණ්ඩුවට සම්බන්ධ බලපෑම් සහගත පුද්ගලයන්ට එරෙහි දූෂණ පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවට චෝදනා කරමින්, එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටී.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු නායකයන් කිහිපදෙනෙකුගේ අත්සනින් යුතුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල වෙත යොමු කළ ලිපියක් මඟින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් සම්බන්ධ පැමිණිලි රැසක් පිළිබඳව පියවර ගැනීමට කොමිෂන් සභාව අපොහොසත් වී ඇති බව පෙන්වාදෙන ඒකාබද්ධ විපක්ෂය, මේ හරහා නීතිය සැමට සමානව ක්‍රියාත්මක වීම පිළිබඳ බරපතළ ගැටලුවක් මතු වන බව ද අවධාරණය කරයි.

එම ලිපිය මඟින් කරුණු කිහිපයක් විශේෂයෙන් පෙන්වා දී ඇති අතර, ඒ අතර:

– ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේනගේ අභාවයට හේතු වූ පසුබිම් කරුණු,

– කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහි පැමිණිලි,

– හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එල්ල වී ඇති චෝදනා, ප්‍රධාන වේ.

මීට අමතරව, ගල්අඟුරු ආනයනයට අදාළව සිදුවූ බව කියන වංචා පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය කුමක්දැයි ප්‍රශ්න කර ඇති විපක්ෂය, වත්මන් පරිපාලනයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති ලිඛිත පැමිණිලි කිහිපයක්ම නිසි පරිදි විමර්ශනය කර නොමැති බවට ද චෝදනා කර සිටියි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා අල්ලස් කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් ද ඉල්ලා ඇති ඒකාබද්ධ විපක්ෂය, තමන් මතුකළ මෙම කරුණු සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.