June 11, 2026

ඇමෙරිකාවේ ආරක්ෂක අංශවල ඉහළ රහස්‍ය තොරතුරු සහිත පුද්ගලයන්ගෙන් රහස් තොරතුරු ලබා ගැනීම සඳහා චීන ඔත්තුකරුවන් විසින් භාවිත කරන ලදැයි සැක කෙරෙන අන්තර්ජාල වෙබ් අඩවි 13ක් තම භාරයට ගැනීමට ඇමෙරිකානු බලධාරීන් පියවර ගත්තේය.

චීන මිලිටරි ඔත්තු සේවා විසින් LinkedIn සහ අනෙකුත් රැකියා වෙබ් අඩවි උපයෝගී කරගනිමින් මෙලෙස ඇමෙරිකාවේ රහසිගත තොරතුරු සොරා ගැනීමට උත්සාහ කරන බවට, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය යන රටවලින් සැදුම්ලත් Five Eyes බුද්ධි තොරතුරු සන්ධානය පසුගිය සතියේදී ද දුර්ලභ ගණයේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි.

ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පසුගිය බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, රහස්‍ය තොරතුරු සඳහා ප්‍රවේශය ඇති ඇමෙරිකානුවන් ඉලක්ක කර ගනිමින් ව්‍යාජ උපදේශන ආයතන ලෙස පවත්වාගෙන ගිය වෙබ් අඩවි කිහිපයක් මෙලෙස රාජසන්තක කළ බවයි.

“අපේ රටේ වඩාත්ම සංවේදී තොරතුරු භාරව සිටින ඇමෙරිකානුවන්ව නොමඟ යැවීමට සහ ඔවුන්ගෙන් ප්‍රයෝජන ගැනීමට දරන ඕනෑම උත්සාහයක් හෙළිදරව් කර විනාශ කරනවා කියන පැහැදිලි පණිවිඩය මෙම වෙබ් අඩවි තහනම් කිරීම හරහා අප ලබා දෙනවා,” කොලොම්බියා දිස්ත්‍රික්කයේ ඇමෙරිකානු නීතිඥ ජෙනින් පිරෝ පැවසුවාය.

FBI ආයතනයේ ප්‍රති-බුද්ධි සහ ඔත්තු බැලීම් මර්දන අංශයේ සහකාර අධ්‍යක්ෂ රෝමන් රොෂාව්ස්කි ප්‍රකාශ කළේ, වර්තමාන සහ හිටපු ආරක්ෂක නිලධාරීන් රවටා, තමන් සතු සංවේදී තොරතුරු ලබා ගැනීම සඳහා චීන බුද්ධි අංශ කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද ව්‍යාජ තොරතුරු පවා භාවිත කරමින් කෙතරම් සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වන බවයි.