June 12, 2026

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර නොහොත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුකරය අද(11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්ෂණ සිදු කරන බව පැවසූහ.

සෝදිසි වරෙන්තුවක් ලබාගෙන ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තාගේ නිවස හා භූමිය පරීක්ෂා කළ අවස්ථාවේදී, එහි තිබී ලේඛන කිහිපයක් හමු වූ බවත්, ඒ අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ රතු නිවේදනය තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.

එමෙන්ම ගනේමුල්ල සංජීව නමැත්තාට පෙර තිබූ නඩු, දැනට පවතින නඩුවල විස්තර, සහ ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් මෙන්ම දුරකථන අංක සම්බන්ධයෙන්ද ලේඛනයක් ඒ අතර තිබී හමුවූ බව පෙන්වාදුන් පොලිසිය, මේ තුළින් ගනේමුල්ල සංජීව නමැත්තාගේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙම සැකකරු අවදියෙන් සිට ඇති බව පැහැදිලි වන බවත් පැවසුවේය.

ඔහුගේ නිවාස භූමියේ තිබී ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සහ ගිනිඅවියක් හමුවූ බවත්, ඒවා පිළිබඳව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් පොලිසිය සඳහන් කළේය.

ඊට අමතරව මෙම සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය තව දුරටත් දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බවත් පොලිසිය සඳහන් කර සිටියේය.

මෙහිදී සැකකාර ඔස්මන්ඩ් ගුණසේකර වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන සිටින සිය සේවාදායකයා හමුවීමට තමන් ගිය අවස්ථාවේදී ඊට අවසර නොලැබුණු බව පැවසුවේය.

එහෙත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු එම චෝදනාව ප්‍රතික්ෂේප කළහ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමසීම සඳහා මීළඟ නඩු දිනයේ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයේ පෙනීසිට කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

ඉන් අනතුරුව මෙම පැමිණල්ල ලබන 26 වැනිදා කැඳවන ලෙසත් නියම කෙරිණි.