June 12, 2026

පොදු මහජන මාර්ගවල අධික ශබ්දයක් නිකුත් වන පරිදි වෙනස් කරන ලද සයිලන්සර් සවිකර ධාවනය කරනු ලබන වාහනවලට සහ රියදුරන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර සඳහන් කළේ එවැනි නීතිවිරෝධී වාහන වහාම පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, ඉදිරියේදී එවැනි වාහන පදවන රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සෙවීම සඳහා විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂණවලට භාජනය කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගන්නා වාහන සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව, අදාළ පුද්ගලයන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

“බොහෝ දෙනෙක් පෞද්ගලික ප්‍රවාහන අවශ්‍යතා වෙනුවට විවිධ සංදර්ශන සහ ධාවන තරඟ සඳහා යතුරුපැදි මිලදී ගන්නා බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම උත්සව සමයන්හිදී යතුරුපැදි සහ ත්‍රිරෝද රථවලට මෙලෙස වෙනස්කරන ලද සයිලන්සර් සවිකර ධාවනය කිරීම නිසා මහජනතාව දැඩි පීඩාවකට පත්වෙනවා” යැයි නියෝජ්‍ය පොලිස්පති සේනාධීර පෙන්වාදුන්නේය.

වාහනවල දුම් බට පද්ධති වෙනස්කිරීම හේතුවෙන් සිදුවන මාර්ග අනතුරු සහ මහජන පීඩාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.