June 12, 2026

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රජයට අයත් බැංකුවක් හරහා මෙරටට එවනු ලබන ප්‍රේෂණ (විදේශ මුදල්) කෙරෙහි එල්ල වී ඇතැයි සැකකෙරෙන සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සිය කනස්සල්ල පළකර සිටියි.

පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙරටට එවූ මුදල් ලබාගැනීමට නොහැකි වී ඇති බවත්, එම අරමුදල් මෙතෙක් අවහිර වී ඇති බවත් මන්ත්‍රීවරයා කියාසිටියේය.

“තමන්ගේ ජීවිත අවදානම ගැන පවා නොතකා ඊශ්‍රායලයේ දිගටම වැඩකරන ශ්‍රී ලාංකික සේවකයන් විශාල පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් එක සේවකයෙක් මාසෙකට ඇමෙරිකානු ඩොලර් 3,000ක් විතර ලංකාවට එවනවා,” යැයි මන්ත්‍රී චානක පැවසීය.

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවක් හරහා ‘ග්ලෝබල් රෙමිට් ලිමිටඩ්’ (Global Remit Ltd.) සේවාව භාවිත කරමින් තමන් උපයන මුදල් ශ්‍රී ලංකාවට එවීමට මෙම ශ්‍රමිකයන්ට උපදෙස් දී තිබූ නමුත්, එලෙස එවූ මුදල් මෙතෙක් අදාළ ලාභීන් වෙත ලැබී නොමැති බවට ඔහු චෝදනා කළේය.

“ඔවුන් බැංකුවෙන් විමසපුවාම කියනවා තානාපති කාර්යාලයට කතා කරන්න කියලා. තානාපති කාර්යාලයෙන් ඇහුවාම කියනවා බැංකුවත් එක්ක කතා කරන්න කියලා. නමුත් අවසානයේ මුදල් ලැබිය යුතු අයට ලැබිලා නැහැ,” යැයි ඔහු සඳහන් කළේය.

මෙම ගැටලුව කුමන පාර්ශ්වයකින් මතු වූවක්ද යන්න මෙතෙක් පැහැදිලි නැති බව පවසමින් චානක මහතා කියා සිටියේ, මෙය සයිබර් ප්‍රහාරයක් නිසා සිදු වූවක් වීමට ඉඩ ඇති බවයි.

“අපි දන්නේ නැහැ මේක රජයට, බැංකුවට නැත්නම් වෙනත් ආයතනයකට එල්ල වුණු සයිබර් ප්‍රහාරයක් නිසා වෙච්ච දෙයක්ද කියලා. හැබැයි මේ මුදල්වලට මොකක් හරි දෙයක් වෙලා තියෙනවා,” යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.