June 11, 2026

කුවේටයේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලයන් ඉලක්ක කර ගනිමින් එරට මත්ද්‍රව්‍ය නාශක අංශය සිදුකළ විශේෂ වැටළීම් කිහිපයකදී, ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ‘ඇරෑබ් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූවන් අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනාට අමතරව කුවේට් ජාතිකයෙක්, ඉන්දීය ජාතිකයෙක් සහ ‘බෙඩූන්’ (රාජ්‍ය විරහිත) ප්‍රජාවට අයත් පුද්ගලයන් දෙදෙනකු ද වන බව පැවැසේ.

ජාවාරම් කිරීම සහ පරිභෝජනය සඳහා සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය සහ මනෝවිශේෂී ඖෂධ මෙන්ම, ඒවා ඇසුරුම් කිරීමට සහ බෙදාහැරීමට ගන්නා උපකරණ රැසක් ද සැකකරුවන් සන්තකයේ තිබී ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.

එහිදී නිලධාරීන් භාරයට ගත් මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ලෙස බෙදාහැරීමට තිබූ ඖෂධ පෙති ප්‍රමාණය මෙසේය:

හෂීෂ්: කිලෝග්‍රෑම් 2.550ක්

හෙරොයින්: ග්‍රෑම් 150ක්

මෙතම්පටමින් (අයිස්): ග්‍රෑම් 20ක්

ලිරිකා (Lyrica) කැප්සියුල: 6,350ක්

කැප්ටගන් (Captagon) පෙති: 500ක්

සැනැක්ස් (Xanax) පෙති: 50ක්

මෙතඩෝන් (Methadone) පෙති: 50ක්

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය පියවර සඳහා අදාළ බලධාරීන් වෙත යොමුකර ඇති බව කුවේට් ආරක්ෂක අංශ පවසයි.