June 10, 2026

කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයේ අද (10) පස්වරුවේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකු රළු රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ඔවුන් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

වාර්තා වන අන්දමට ඉන් සිසුන් දෙදෙනෙකු බේරාගැනීමට සමත්ව ඇති අතර, අනෙක් සිසුවා තවමත් අතුරුදන්ව පවතී.

බේරාගත් සිසුන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බව පැවසේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක පමණ වයසැති සිසුන් පිරිසකි.

මිතුරන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ඔවුන් වෙරළට පැමිණ ඇති අතර, ඉන් තිදෙනකු මුහුදට බැස ඇති අවස්ථාවේදී මෙලෙස රළ පහරට හසුවී ඇත.

අතුරුදන් වූ සිසුවා සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.