June 10, 2026

පල්ලේගම හේමරතන හිමියන්ට ළමා අපචාරයක් ගැන චෝදනා එල්ල වුණ මොහොතේ ඉඳලා ෆේස්බුක්වල ලියන සමහර අය දිගටම මෙහෙම ඇහුවා : ගැහැණු අපි එක මිටට කියපු ආණ්ඩුවේ මන්ත්‍රීවරියන් නිදිද?

මෙම සිදුවීමට අදාලව නඩු කටයුත්තක් ක්‍රියාත්මක වුණා. මේ ගැන සමාජ සංවාදයක් මතු වූ පසුබිමක, පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය පසුගිය මැයි මාසයේ රැස් වුණා. අදාල විමර්ශන කටයුතු හරියට සිද්ධ වෙනවද, දැරියගේ සුබසාධනය කොහොමද සිද්ධ වෙන්නේ වගේ දේවල්වලට යම් මැදිහත්වීමක් කරන්න එතන දී තීරණය වුණා.

මෙන්න මේ තීරණයේ ඊලග පියවර විධිහට, මේ ජූනි පස් වෙනි දා, මේ කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කරන රැස්වීමක් කැඳවලා තිබුණා.
මේ රැස්වීමට මෙම සිද්ධියට අදාලව කටයුතු කරන පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ලමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස දෙපාර්තමේන්තුව වගේ ආයතන සහභාගි වෙලා හිටියා.

මේ රැස්වීමෙන් පස්සේ, නිකුත් කරපු මාධ්‍ය නිවේදනය අනුව, පහත දේවල් එතන දී සාකච්ඡා වෙලා තියෙනවා.

✅දැනට සිදු කෙරෙන විමර්ශනවලදී අධිකරණය ලබා දුන් නියෝගවලට අනුව කටයුතු කිරීම.
✅මෙම දැරිය ගැන උසාවි තුනක නඩු යන නිසා ඒ සියලු නඩු අධීක්ෂණය කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටීම.
✅නඩුවට අදාළ රස පරීක්ෂක වාර්තා හා අනෙක් වෛද්‍ය වාර්තා ඉක්මනින් කැඳවීම.
✅අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී දැරිය වෙනුවෙන් පෙනී සිටින ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීම.
✅දැරියගේ සුබසාධනය ගැන නිසි අවධානය යොමු කරන මෙන් පරිවාස දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම.
✅සියලු ආයතන මනා සම්බන්ධීකරණයක් එක්ක වැඩ කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දීම.

මේ කීපයක් විතරයි. මේ මාධ්‍ය නිවේදනය දිහා බැලුවම පේනවා, මේ මැදිහත්වීමේ අරමුණ රජයේ ආයතන හරියට වැඩේ කරනවද කියල මන්ත්‍රීවරියන්ගේ පැත්තෙන් හොයල බලන එක කියලා.

‘කාන්තා මන්ත්‍රීවරියන් මොකද කරන්නෙ?’ කියන ප්‍රශ්නය සද්භාවයෙන් නම් ඇහුවෙ, උත්තරය මේ විස්තරයේ තිබෙනවා!
දැන් මේ රැස්වීම ගොඩක් අය තේරුම් අරගෙන තියෙන්නෙ කොහොමද?
මේ ගැන බීබීසී සිංහල‍ සේවය ප්‍රවෘත්තියක් පළ කරලා තිබුණා. මේ දවස්වල නිවුස් එක තමයි මේ නිවුස් එක.
ඒ නිවුස් එකේ හැටියට, ‘විශ්වසනීය මූලාශ්‍රයකින්’ ඒ අයට කියලා තියෙනවා, මේ රැස්වීම කැඳවලා තිබුණේ ලමා ආරක්ෂණ අධිකාරියට බනින්න කියලා.
පා. මන්ත්‍රී ලක්මාලි ‍හේමචන්ද්‍ර ඉලක්ක කරගෙන තමයි මේ නිවුස් එක ලියැවිලා තියෙන්නෙ. මේ නිවුස් එකේ හැටියට, අදාල රැස්වීමේ දී වෙන කිසිම දෙයක් වෙලා නැහැ. ලක්මාලි හේමචන්ද්‍ර ලමා ආරක්ෂණ අධිකාරියට පලු යන්න බැනපු එක තමයි රැස්වීමේ වෙලා තියෙන්නෙ. ඒකට තමයි රැස්වීම කැඳවලා තියෙන්නෙ.

ෆේස්බුක්වල ඉන්න ප්‍රගතිශීලී, ලිබරල්, එන්ජීඕ, අයිතිවාසිකම්-ලැදි එකී නොකී සියලු අය දැන් මේ ගොසිප් ටයිප් ප්‍රවෘත්තිය කර උඩ තියාගෙන යනවා. ශෙයාර් කරගන්නවා. ලයික් දමාගන්නවා. හාට් දාගන්නවා. ‘අනේ බලන්න ආණ්ඩුවේ හැටි’ කියලා හෑලි ලියාගන්නවා. පල්ලේගම රකින එකද මන්ත්‍රීවරියන්ගේ වැඩේ කියල අහනවා.

🛑පල්ලෙගම රකින්න නම් ඕනෙ රස පරීක්ෂක වාර්තා ඉක්මන් කරන්න කියන්නේ ඇයි?‍
🛑පල්ලෙගම රකින්න නම් නීතිපති දෙපාර්තමේන්තුවට මැදිහත් වෙන්න කියල ඉල්ලන්නෙ ඇයි?
🛑පල්ලේගම රකින්න නම් සියලු අධිකරණවල යන නඩු අධීක්ෂණය කරන්න කියලා ඉල්ලන්නේ ඇයි?

නඩුව ඉස්සරහට කරගෙන යන්න පහසුකම් සලසන, ආධාර කරන දේවල් මිස ඒක යට ගහන කිසිම දෙයක් මෙතැන තියෙනවද?
‍මේ කිසිම දෙයක් ගැන හිතන්න කාටවත් විවේකයක් නැහැ.
අන්තිමට සාකච්ඡාවට ලක් වෙන්නෙ, පාර්ලිමේන්තුවේ කැඳවපු රැස්වීමක, යම් සිද්ධියක් ගැන ගත්ත හරයාත්මක තීරණ ගැන නෙමෙයි. බීබීසී සිංහල සේවය පල කරපු, ඉරිදා පත්තරවල මැද පිටුවේ යන ගොසිප් ටයිප් වාර්තාවක ලියලා තියෙන දේවල්.
අදාළ පුවත සාවද්‍යයයි කියලා මේ වෙනකොට ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ප්‍රකාශ කරලා තියෙනවා.

ඒ අනුව කථා දෙකක් තියෙනවා – එකක්, බීබීසී සිංහල ‘විශ්වසනීය’ මූලාශ්‍රයකින් තමුන්ට ලැබුණු බව කියන කථාව. දෙවෙනි එක, මන්ත්‍රීවරිය ඒක අසත්‍යයයි කියන කථාව.
දැන් මේකෙන් අපි විශ්වාස කරන්න ඕනෙ කථාව මොකක්ද? සාධාරණ බුද්ධියක් තිබෙන කෙනෙක් නම්, සාමාන්‍යයෙන් දෙපැත්තෙම කථාව අහනවා.
හැබැයි සිත්ගන්නා සුලු දේ තමයි, බීබීසී පුවත ඇත්තක් විධිහට අරගෙන, ඒකට පුලුල් ප්‍රචාරයක් ලබා දුන් එකම මාධ්‍යවේදියෙක්, යූටියුබ්කරුවෙක් මේ ගැන කියන්න තියෙන්නේ මොකක්ද කියලා හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගෙන් අඩුම තරමින් අදහසක් හෝ විමසා නොතිබීම.

ඔන්න ඕක තමයි අපේ රටේ පුවත් වාර්තාකරණයේ තත්වය. වී (මිස්) රිපෝට් – යූ ඩිසයිඩ්!

(නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ ගේ ෆේස්බුක් ගිණුමෙන්)