June 10, 2026

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 24 හැවිරිදි දෙමළ හිප් හොප් ගායක සංගීත්සන් ගනේෂ්කුමාර් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය දැඩි කනස්සල්ල පළකර තිබේ.

නගරාධිපති බ්‍රවුන් සිය ‘X’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙය භාෂණයේ නිදහස බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කරන කලාකරුවකු අපරාධකරුවකු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ට පටහැනි බවයි.

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජයන් මෙම පනත අහෝසි කිරීමට පොරොන්දු වුවද, විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමට එය තවදුරටත් අවියක් කරගන්නා බව ඔහු චෝදනා කරයි.

2009 වසරෙන් පසුවද දෙමළ ජනතාව දැඩි මිලිටරි නිරීක්ෂණ සහ පීඩනයන්ට ලක්ව සිටින බව පවසන නගරාධිපතිවරයා, ගනේෂ්කුමාර් වහාම නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙසත් ඉල්ලා සිටී.

මේ අතර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දකුණු ආසියානු ශාඛාව ද පෙන්වාදෙන්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය වර්ණනා කළේ යැයි පවසමින් ජූනි 02 වැනිදා අත්අඩංගුවට ගත් මෙම ගායකයා ජූනි 17 දක්වා රිමාන්ඩ් කර ඇති බවයි.

අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව සාධාරණ නඩු විභාගයක් යටතේ පිළිගත හැකි චෝදනාවක් ඉදිරිපත් නොකරන්නේ නම් ඔහුව වහාම නිදහස් කරන ලෙස ඇම්නෙස්ටි ආයතනය බලකර සිටී.

මීට අමතරව, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ රඳවා තබාගැනීමේදී ද නිසි නීතිමය ක්‍රියාපටිපාටීන් උල්ලංඝනය වී ඇති බවත්, ඔහුට අමානුෂික ලෙස සලකන බවට පවුලේ අය සහ නීතිඥයන් චෝදනා කරන බවත් ඇම්නෙස්ටි ආයතනය සඳහන් කරයි.

මෙම පනත මත්ද්‍රව්‍ය වැටළීම් සඳහා ද යොදාගන්නා බවද පෙන්වාදෙන එම සංවිධානය, විනිවිදභාවයක් නොමැති වීම නිසා මෙමඟින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට සහ වධහිංසා පැමිණවීමට පරිසරය සැකසෙන බවට අනතුරු අඟවයි.

එබැවින් පනත භාවිත කිරීම වහාම අත්හිටුවා එය ප්‍රමාදයකින් තොරව අහෝසි කරන ලෙස ඔවුහු ලංකා රජයෙන් ඉල්ලා සිටිති.