June 10, 2026

යාපනය, චෙම්මනී සිද්ධුපත්ති සමූහ මිනීවලේ තුන්වැනි අදියරේ කැණීම් කටයුතු සිදුකෙරෙන 20 වැනි දිනය වූ ඊයේ (09) දින, එහි තිබී තවත් මානව සැකිලි කොටස් 9ක් සොයාගෙන ඇති අතර ඉන් 8ක්ම කුඩා දරුවන්ගේ බවට විශ්වාස කෙරේ.

මෙම නවතම සොයාගැනීමත් සමඟ එම ස්ථානයෙන් හඳුනාගෙන ඇති සමස්ත මානව සැකිලි සංඛ්‍යාව 327ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් සැකිලි 311ක් මේ වන විට සම්පූර්ණයෙන් ගොඩගෙන අවසන්ය.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ දෙවැනි විශාලතම සමූහ මිනීවල ලෙස සැලකෙන්නේ මෙම චෙම්මනී සමූහ මිනීවලයි.

එහි තිබී හමුවූ මානව සැකිලිවලට අමතරව ළදරු කිරි බෝතල්, සෙල්ලම් බඩු, බෝනික්කෙකු, ළමා සපත්තු සහ පාසල් බෑග් ද විමර්ශකයන් විසින් සොයාගෙන ඇත.

මේ හේතුවෙන් මෙහි වළදමා ඇති වින්දිතයන්ගෙන් සැලකිය යුතු පිරිසක් කුඩා දරුවන් විය හැකි බවට දැඩි සැකයක් හා කනස්සල්ලක් මතුව තිබේ.

කැණීම් කණ්ඩායම් පවසන පරිදි මෙම සැකිලි කොටස් හමුවී ඇත්තේ පොළොව මතුපිට සිට අඩි එකහමාරක් සහ දෙකක් වැනි නොගැඹුරු මට්ටමකය.

මාස හතක අත්හිටුවීමකින් පසු, මෙම විමර්ශන කටයුතු අඛණ්ඩව කරගෙන යෑම සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 21ක මුදලක් වෙන් කිරීමෙන් අනතුරුව, 2026 අප්‍රේල් 27 වැනිදා මෙහි කැණීම් කටයුතු නැවත ආරම්භ කරන ලදී.

යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ, ප්‍රමුඛ පෙළේ ව්‍යවහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රණවන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම කැණීම් කටයුතු සිදු කෙරේ.

අධිකරණ නියෝග මත චෙම්මනී සිද්ධුපත්ති සමූහ මිනීවලේ කැණීම් කටයුතු මුලින්ම ආරම්භ කරන ලද්දේ 2025 මැයි 15 වැනිදාය.

චෙම්මනී ප්‍රදේශයේ මෙවැනි සමූහ මිනීවලවල් පවතින බවට ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් වූයේ 1998 වසරේදීය.

ඒ, දෙමළ පාසල් ශිෂ්‍යාවක වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඇතුළු පස් දෙනෙකු දූෂණය කර ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂට එරෙහි නඩු විභාගයේදීය.

එහිදී ඔහු අධිකරණය හමුවේ අනාවරණය කර තිබුණේ චෙම්මනී ප්‍රදේශයේ වින්දිතයන් සිය ගණනකගේ සිරුරු වළදමා ඇති බවයි.

මෙම ස්ථානයේ කැණීම් කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදුකෙරෙමින් පවතියි.