June 9, 2026

ශ්‍රී ලංකාවේ වනජීවී නීති යටතේ දැඩි ලෙස ආරක්ෂිත සත්ත්ව විශේෂයක් වන ඕලු මුවෙකු (Barking Deer) මරා මස්කිරීමේ වරදට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකුට රුපියල් 180,000ක දඩ මුදලක් ගෙවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

නුවරඑළිය අඩවි වන නිලධාරීන් වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ අඩවි වන ආරක්ෂක නිලධාරීන් සහ හක්ගල වනජීවී රක්ෂිත ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ජුනි 5 වැනිදා නානුඔය, පරකම්පුර ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටළීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී ඕලු මුව මස් කිලෝග්‍රෑම් හතරක්, එම සත්ත්වයාගේ හිස හා සම මෙන්ම වනසතුන් ඇල්ලීම සඳහා අටවා තිබූ කම්බි මලපුඩු 30ක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

‘Indian muntjac’ හෙවත් ඕලු මුවා (Muntiacus muntjak) ලෙස හඳුන්වන මෙම සත්ත්වයා, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ දැඩි ලෙස ආරක්ෂිත ක්ෂීරපායී සත්ත්ව විශේෂයක් ලෙස නම්කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ජුනි 8 වැනිදා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම රුපියල් 180,000ක දඩ මුදල නියම කරන ලදී.

මෙම වැටළීම වනජීවී ක්ෂේත්‍ර ආරක්ෂක ඒ.එම්.සී. මධුරංග, ක්ෂේත්‍ර සහකාර ඒ.එම්.එස්.කේ. ආලෝක බණ්ඩාර, වනජීවී නියාමක ආර්. ධනුෂ්ක හැළඹගේ, ක්ෂේත්‍ර සහකාරවරුන් වන වී.එම්.එස්.එස්. ශ්‍රී සංජීව සහ බී. අජිත් ශාන්ත මෙන්ම රියදුරු එස්.එන්.පී. ද සිල්වා යන වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායම විසින් සිදුකර තිබේ.