June 9, 2026

විශේෂඥ දැනුමක් සහිත විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීම සඳහා ඇමෙරිකානු සමාගම් භාවිත කරන ‘H-1B’ වීසා බලපත්‍ර සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා තිබූ ඩොලර් 100,000 ක අයැදුම්පත් ගාස්තුව බලශුන්‍ය කිරීමට එරට ෆෙඩරල් විනිසුරුවරයකු පියවර ගෙන තිබේ.

එවැනි නව ප්‍රතිපත්තියක් පැනවීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූල බලයක් නොමැති බව අධිකරණය තීන්දු කර ඇත.

බොස්ටන්හි ෆෙඩරල් විනිසුරු ලියෝ සොරොකින් මහතා පිටු 42ක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් පවසා ඇත්තේ, ෆෙඩරල් සංක්‍රමණ ප්‍රතිපත්තියට මෙවැනි බදු මුදලක් ඇතුළත් කිරීමට බලය ඇත්තේ ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) පමණක් බවයි.

විධායක ශාඛාවට ඒකපාර්ශ්විකව මෙවැනි වෙනස්කම් කිරීමට නීති සම්පාදකයින් අවසර දී නොමැති බවද ඔහු පෙන්වාදී ඇත.

මෙම වීසා වැඩසටහන අධික ලෙස භාවිත වන බව පවසමින්, එය සීමාකිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් ඉකුත් දෙසැම්බර් මාසයේදී මෙම අධික ගාස්තුව හඳුන්වාදුන් අතර, ඊට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රාන්ත නීතිපතිවරුන් පිරිසක් විසින් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

උපාධිධාරී විදේශීය වෘත්තිකයන්ට ඇමෙරිකාවේ රැකියා කිරීමට අවස්ථාව සලසන ‘H-1B’ වීසා බලපත්‍රයක් වසර 3ක් සඳහා වලංගු වන අතර එය තවත් වසර 3කට අලුත් කළ හැක.

ආර්ථික විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ, මෙමඟින් ඇමෙරිකානු සමාගම්වල තරඟකාරිත්වය ඉහළ යන අතර රට තුළ නව රැකියා උත්පාදනය වන බවයි.

අධිකරණ තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් නිව්යෝර්ක් ප්‍රාන්ත නීතිපති ලෙටිසියා ජේම්ස් පවසා ඇත්තේ, සංක්‍රමණික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් පරිපාලනය විසින් දියත් කළ නීතිවිරෝධී උත්සාහය අධිකරණය විසින් නිවැරදි කර ඇති බවයි.

කෙසේවෙතත්, ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා නටාලි බැල්ඩසාරේ සඳහන් කර ඇත්තේ, ඇමෙරිකානු සේවකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සහ ජනාධිපති ට්‍රම්ප්ගේ ‘ඇමෙරිකාව පෙරදැරිකරගත්’ (America First) ප්‍රතිපත්තිය වෙනුවෙන් තමන් අඛණ්ඩව පෙනීසිටින බවයි.