June 9, 2026

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ද්වේෂසහගත ලෙස සිදුකළ අනර්ථයක් පිළිබඳව බණ්ඩාරවෙල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් වාර්තාවලට අනුව, කිසියම් පිරිසක් කාර්යාලය වසා තිබූ නිවාඩු දිනයකදී ඇතුළට රීංගා ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල අසුන්වල මඩ තවරා ඇති අතර, රාක්කවල තිබූ ලිපිගොනු ඉරා දමමින් දැඩි විනාශයක් සිදුකර ඇත.

මෙය සාමාන්‍ය සොරකමක් නොවන බව තහවුරු වන්නේ, කාර්යාලයේ කිසිදු වටිනා දේපලක් අතුරුදන්ව නොමැති බැවිනි.

පොලිසිය සැකකරන්නේ මෙය ආයතනික හෝ පෞද්ගලික පළිගැනීමක් මත සැලසුම්සහගතව කළ එකක් බවයි.

විමර්ශන නිලධාරීන්ගේ දැඩි අවධානය යොමුව ඇති කරුණු දෙකක් වන්නේ, සියලු දොර ජනෙල් වසා තිබියදී, එක් ජනේලයක් පමණක් අගුලු නොදමා විවෘතව තිබුණේ කාගේ වුවමනාවටද? යන්න සහ සිද්ධිය වූ දින රාත්‍රියේ කාර්යාලයේ සේවකයන් පිරිසක් වෙනත් ස්ථානයක සුහද හමුවක් පවත්වා තිබීම හා මෙම සිද්ධිය අතර සබඳතාවක් තිබේද? යන්නයි.

මේ සියලු කරුණු ඔස්සේ බණ්ඩාරවෙල පොලිසිය සැකකරුවන් හඳුනාගැනීම සඳහා සාක්ෂි මෙහෙයවමින් සිටියි.