June 8, 2026

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කරගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව අද (08) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැණිනි.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරිණි.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවී විසින් සාක්ෂි මෙහෙයවීම සිදුකරන ලදී.

ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජූනි මස 25 වනදා දක්වා කල්තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලසීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින්, සිය නිත්‍යානුකූල ආදායම අභිබවා යමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමල් වීරවංශට විරුද්ධව මෙම නඩුව පවරා තිබිණි.