June 8, 2026

ආණ්ඩුව විසින් ‘ධර්මාධිකරණයක්’ ස්ථාපනය කිරීමට පියවර ගතහොත්, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති විපක්ෂයේ පක්ෂ නායක හමුවකදී මෙම සුවිශේෂී තීරණය ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එවැනි ධර්මාධිකරණයක් ආරම්භ කිරීම රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද යන්න පිළිබඳව නීතිමය වශයෙන් සොයාබැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන ලෙස හිටපු ජනාධිපතිවරයා එහිදී පක්ෂ නායකයන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩකඩ පවතින්නේ ‘සංඝාධිකරණයකට’ පමණක් බව පෙන්වාදී ඇති රනිල් වික්‍රමසිංහ, ධර්මාධිකරණයක් වැනි ව්‍යුහයක් ඇති කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ඊට එරෙහිව පියවර ගත හැකි බව ද අවධාරණය කර ඇත.

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ විසින් සංඝාධිකරණයකට අවශ්‍ය කෙටුම්පතක් සකස් කර දැනටමත් පාර්ලිමේන්තුවට භාර දී ඇති බව ද ඔහු මෙහිදී සිහිපත් කර තිබේ.

පල්ලේගම හේමරතන හිමියන්ගේ සිදුවීම පාදක කරගනිමින් කාරක සංඝ සභාවල හිමිවරුන් කිසිවිටෙකත් ධර්මාධිකරණයක අවශ්‍යතාවක් මතුකර නොමැති බවත්, උන්වහන්සේලා අදහස් පළ කළේ විනය ප්‍රශ්න පිළිබඳව පමණක් බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වාදී ඇත.

විදේශීය පාලකයන් පවා මෙරට නීති සකස් කිරීමේදී බුදු දහම පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර තිබූ බව හෙතෙම සිහිපත් කර තිබේ.

එසේම, ධර්මාධිකරණයක් ඇති කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කළ නිලධාරීන්ට එරෙහිව ද දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇත.

මේ අතර, පල්ලේගම හේමරතන හිමියන්ට විධිමත් චෝදනා පත්‍රයක් පවා ඉදිරිපත් නොකර උන්වහන්සේව තනතුරුවලින් ඉවත් කර ඇති බව පවසමින්, මෙම සාකච්ඡාවට එක්වූ විපක්ෂයේ පක්ෂ නායකයෝ ඊට සිය දැඩි විරෝධය පළකර තිබේ.