June 8, 2026

ඉතියෝපියාවේදී පැහැරගැනීමට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනකු, එරට ආරක්ෂක අංශ දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව කිසිදු හානියකින් තොරව බේරාගැනීමට සමත්ව ඇති බව ‘ෆිඩෙල් පෝස්ට්’ පුවත් සේවය වාර්තා කරයි.

ඇමෙරිකානු ඩොලර් 90,000ක කප්පම් මුදලක් ඉල්ලා මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පැහැරගත් බවට චෝදනා එල්ල වී ඇති ඉතියෝපියානු ජාතිකයන් දෙදෙනකු සහ පකිස්ථාන ජාතිකයන් සිව්දෙනකු ඇතුළු සැකකරුවන් හයදෙනකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වාර්තාවලට අනුව, මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා රැකියා අවස්ථාවන් සඳහා ඉකුත් මැයි 23 වැනිදා ඉතියෝපියාවට පැමිණ ඇති අතර, ඔවුන් ගුවන් තොටුපොළින් පිටතට පැමිණි වහාම ‘Code 2’ වර්ගයේ බලපත්‍ර තහඩුවක් සහිත සුසුකි වර්ගයේ මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඇත.

මෙම පුද්ගලයන් තිදෙනා අතුරුදහන් වී ඇති බවට ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ‘බොලේ’ උප නගර පොලිස් දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව, 2026 මැයි 26 වැනිදා මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

ඩිජිටල් තාක්ෂණික නිරීක්ෂණ ඔස්සේ විමර්ශන සිදුකළ ආරක්ෂක අංශ, ඔරෝමියා කලාපයේ ‘ෂෂේමෙනේ’හි පිහිටි නේවාසික නිවසක වින්දිතයන් රඳවා සිටින බවට සොයාගෙන ඇත.

පසුව ආරක්ෂක බලකායන් විසින් අදාළ නිවස වටළා, ප්‍රාණඇපකරුවන් නිදහස් කරගත් අතර කිසිදු ගැටුමකින් තොරව සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

මෙම සාර්ථක බේරාගැනීමේ මෙහෙයුම ඉතියෝපියානු ජාතික බුද්ධි හා ආරක්ෂක සේවය (NISS), ෆෙඩරල් පොලිසිය, තොරතුරු ජාල ආරක්ෂක පරිපාලනය (INSA) සහ ඔරෝමියා කලාපීය පොලිසිය ඒකාබද්ධව දියත්කර තිබිණි.