June 8, 2026

සම්පත් බැංකුව කොළඹ වරාය නගරයේ පිහිටි විශේෂ ආර්ථික කලාපය තුළ සිය සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින්, අද දින එහි නව ශාඛාවක් විවෘත කළේය.

කොළඹ වරාය නගරය සමඟ සම්පත් බැංකුවේ සම්බන්ධතාවය ආරම්භ වූයේ එහි තීරුබදු රහිත (Duty Free) සාප්පු සංකීර්ණ පරිශ්‍රය තුළ මුදල් තැන්පත් කිරීමේ සහ ලබාගැනීමේ පහසුකම් සලසමින් ‘කෑෂ් රිසයික්ලර්’ (Cash Recycler) යන්ත්‍රයක් ස්ථාපනය කිරීමත් සමඟය.

අද දින සිදුකෙරුණු මෙම ශාඛා විවෘත කිරීම, කොළඹ වරාය නගරය තුළ ඔවුන්ගේ බැංකු සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීම සනිටුහන් කරයි.

බැංකුව ප්‍රකාශ කරන අන්දමට, මෙම නව ශාඛාව මඟින් කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාර, ආයෝජකයන්, ව්‍යවසායකයන් සහ අනෙකුත් ගනුදෙනුකරුවන් සඳහා අවශ්‍ය බැංකු සේවාවන් සහ මූල්‍ය විසඳුම් ලබාදෙනු ඇත.

මෙම ශාඛාව මඟින් එම ප්‍රදේශයේ ආයෝජන කටයුතු පහසු කිරීම සහ මූල්‍ය ගනුදෙනු සඳහා සහයෝගය දැක්වීම අපේක්ෂා කෙරේ.

කොළඹ වරාය නගරය අන්තර්ජාතික ව්‍යාපාරික සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින අතර, එහි වර්ධනය හා සංවර්ධනය සඳහා සහයෝගය දැක්වීම පිණිස මූල්‍ය ආයතන සහ අනෙකුත් සේවා සපයන්නන් එහි සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් සිටියි.