June 8, 2026

ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම හරහා රජයට රුපියල් බිලියන 1.84කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව තෙවැනි වරටත් පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා, පත්කර ඇති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට (Trial-at-Bar) කිසිදු නෛතික බලයක් නොමැති බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නීතිඥවරු මූලික විරෝධතාවක් මතුකළේය.

කබ්රාල් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය සේවාදායකයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ, 2018 වසරේදී සම්මත කරන ලද පනතක් යටතේ බවයි.

එහෙත්, අදාළ චෝදනාවට පාදක වී ඇති සිදුවීම සිදුව ඇත්තේ එම නීතිය සම්මත වීමට බොහෝ කලකට පෙර බව ඔහු පෙන්වාදුන්නේය.

ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කර ඇත්තේ, 2011 මාර්තු 19 වැනිදා සිට 2012 නොවැම්බර් 29 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ බව ජනාධිපති නීතිඥවරයා සිහිපත් කළේය.

කිසියම් සිදුවීමක් සිදුවූ පසුව සම්මත කරන ලද නව නීති උපයෝගී කරගනිමින් පුද්ගලයෙකුට එරෙහිව චෝදනා ගොනුකළ නොහැකි බවට විනිසුරුවරුන් විසින් ලබා දී ඇති ඉහළ අධිකරණ තීන්දු රැසක් ද නීතිඥ මෙන්ඩිස් මෙහිදී සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළේය.

ඒ අනුව, මෙම නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට කිසිදු නෛතික පදනමක් නොමැති බව ඔහු තර්ක කළේය.

මනෝජ් තල්ගොඩපිටිය, උදේශ් රණතුංග සහ බුද්ධික සී. රාගල ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තියේ මෙම ඉල්ලීම සලකා බැලූ අතර, මෙම මූලික විරෝධතාව පිළිබඳ සිය තීන්දුව ජුනි මස 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම්දුන්නේය.

එමෙන්ම, විත්තිය මතුකළ විරෝධතාවලට අදාළව සිය ප්‍රති-විරෝධතා සතියක් ඇතුළත ගොනුකරන ලෙස ද අධිකරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂිකා අනුෂා සම්මන්දප්පෙරුම පෙනීසිටියාය.