June 7, 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට එරෙහිව නීතිමය පියවර නොගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තීරණය කර තිබේ.

මෛත්‍රී වික්‍රමසිංහට එරෙහිව චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

කෙසේවෙතත්, මෙම බ්‍රිතාන්‍ය සංචාරයට අදාළව පොදු දේපළ පනත යටතේ අපරාධකාරී ලෙස මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමේ හැකියාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශනය කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම නඩුව ජූනි මස 8 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවීමට නියමිතය.