June 7, 2026

ශ්‍රී ලංකාවේ පවතින වැඩිහිටි නිවාස නියාමනය කිරීම සඳහා සෘජුවම නීති සකස් කිරීමට මධ්‍යම රජයට නීතිමය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් එම කටයුතු ප්‍රමාදයකට ලක්ව ඇති බව වාර්තා වේ.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ‘සමාජ සේවා’ විෂය පළාත් සභා යටතට පැවරී තිබීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.

පළාත් සභාවල එකඟතාවයකින් තොරව මධ්‍යම රජය විසින් පමණක් මෙම රෙගුලාසි සකස් කිරීමට එරෙහිව පළාත් සභා ප්‍රධානීන් සිය විරෝධය පළකර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ, ව්‍යවස්ථාපිතවම පළාත් සභාවල එකඟතාවය ලබා ගැනීම අනිවාර්ය වුවද, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සියලු පළාත් සභා සම්බන්ධ කරගනිමින් මෙම රෙගුලාසි කඩිනමින් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ, වැඩිහිටි සුභසාධනය උදෙසා සකස් කරන ලද නව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, එය මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි.

දැනට දිවයින පුරා ලියාපදිංචි වැඩිහිටි නිවාස 455 ක් පවතින අතර, ඒවායේ නේවාසිකව සිටින වැඩිහිටියන් සංඛ්‍යාව 10,000 කට ආසන්න වේ.

මීට අමතරව රට පුරා හොර රහසේ පවත්වාගෙන යන ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස රැසක් පවතින බවත්, ඒවායින් බොහොමයක නිසි පහසුකම් හෝ ප්‍රමාණවත් කාර්ය මණ්ඩල නොමැති බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඒවා වහාම සොයා බලා ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව ද අමාත්‍ය පන්නිලගේ අවධාරණය කළේය.