June 6, 2026

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත, ‘ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ’ (CRPD) රාජ්‍ය පාර්ශවයන්ගේ 19 වැනි සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මෙරට ප්‍රමුඛ ආබාධිත හිමිකම් ක්‍රියාකාරිනියක වන නිල්ෂානි ද සිල්වා තේරී පත්වී ඇත.

ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ ලොව ප්‍රධානතම සංසදය ලෙස සැලකෙන මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ CRPD සම්මුතියේ 20 වැනි සංවත්සරයට සමගාමීවය.

මේ සඳහා ලොව පුරා සිටින රාජ්‍ය නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ආබාධිත ප්‍රජාවේ නායකයන් රැසක් එක්වීමට නියමිතය.

මෙම අන්තර්ජාතික සමුළුවේදී ශ්‍රී ලංකාවේ ‘තරුණ නියෝජිතවරිය’ ලෙස පත්කර සිටින නිල්ෂානි ද සිල්වාට, එළඹෙන ජූනි 9 වැනිදා පැවැත්වෙන සමුළුවේ සමාරම්භක සැසිය ඇමතීමට විශේෂ ආරාධනාවක් ලැබී තිබේ.

එහිදී ඇය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ අනෙකුත් අන්තර්ජාතික නායකයන් සමඟින් සභාව ඇමතීමට නියමිතය.

‘ඩවුන් සින්ඩ්‍රෝම’ (Down Syndrome) තත්ත්වයෙන් උපත ලැබූ නිල්ෂානි, ආබාධිත තැනැත්තන් මුහුණදෙන සාමාජයීය දුර්මතයන්ට අභියෝග කරමින් සහ ඔවුන් සමාජගත කිරීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කරන ප්‍රකට ක්‍රියාකාරිනියකි.

ඇය දක්ෂ අභිප්‍රේරණ කථිකාවියක, ගුරුවරියක මෙන්ම විලාසිතා නිර්මාණකාරිනියක ලෙසද ක්ෂේත්‍ර රැසක දක්ෂතා දක්වා ඇත.

ශ්‍රී ලංකාව 2007 වසරේදී මෙම CRPD සම්මුතියට අත්සන් තැබූ අතර, 2016 වසරේදී එය අපරානුමත (Ratify) කරන ලදී.

විශේෂත්වය වන්නේ, මෙවර පැවැත්වෙන 19 වැනි රාජ්‍ය පාර්ශවයන්ගේ සමුළුවේ සභාපතිත්වය දරනු ලබන්නේද ශ්‍රී ලංකාව වීමයි.

ආබාධිත ප්‍රජාවට බලපාන තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා ඔවුන්ගේ නියෝජනය සහ දායකත්වය ලබාගැනීමේ වැදගත්කම මනාව පෙන්වා දෙන නිල්ෂානිගේ මෙම අන්තර්ජාතික නියෝජනය, ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට ආබාධිත ප්‍රජාවට ලැබුණු ඓතිහාසික සහ අභිමානවත් අවස්ථාවක් ලෙස විචාරකයෝ හඳුන්වති.