June 6, 2026

මීගොඩ හන්දිය ප්‍රදේශයේ වෙසක් දන්සලක් අසල සිදුවූ, පුද්ගලයන් හයදෙනෙකුට ජීවිත අහිමි කළ බිහිසුණු රිය අනතුරින් පසු ප්‍රදේශයෙන් පළාගිය සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.

අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීගොඩ පොලිස් වසමට අයත් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබුණේ, දන්සලක පෝලිමේ සිටි පිරිසක් වෙත කැබ් රථයක් වේගයෙන් ධාවනය වී ගැටීමෙනි.

අනතුරින් පුද්ගලයන් හයදෙනෙකු මියගිය අතර තවත් හත්දෙනකු බරපතළ තුවාල ලැබීය.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැබ් රථයේ රියදුරු 2026 ජූනි 01 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, එළඹෙන ජූනි 16 වනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරුට අමතරව තවත් පුද්ගලයන් තිදෙනකු එම කැබ් රථය තුළ ගමන් කර ඇති බවයි.

රියැදුරු පොලිස් භාරයට ගැනීමෙන් පසු මෙම සැකකරුවන් තිදෙනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

පළාගිය සැකකරුවන් සොයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති අතර, මෙලෙස සොයනු ලබන සැකකරුවන් මෙසේ හඳුනාගෙන ඇත:

අත්තනායකගේ දොන් වසන්ත – පදිංචිය: කුඩමාඩුව, සිද්ධමුල්ල, පිළියන්දල (කැබ් රථයේ ලියාපදිංචි අයිතිකරු)

එස්.කේ. කුමාර නොහොත් ‘සෙල්ලමුත්තු සෙල්ලකුමාර්’ – පදිංචිය: පැලන්වත්ත, පන්නිපිටිය

දොන් සරත් හෙට්ටිගේ – පදිංචිය: පැලන්වත්ත, පන්නිපිටිය

පොලිසිය විසින් මෙම සැකකරුවන්ගේ ඡායාරූප ජනමාධ්‍ය වෙත මුදාහැර ඇති අතර, මොවුන් පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි:

මීගොඩ පොලිස් ස්ථානාධිපති: 071 859 2179

මීගොඩ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති: 077 949 4188