June 4, 2026

ජපාන අග්‍රාමාත්‍ය සනායේ තකයිචි සිය ප්‍රථම නිල ඉන්දීය සංචාරය එළඹෙන ජූලි මාසයේදී සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

මෙම සංචාරයේදී ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අනාවරණය විය.

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ක්‍රියාවට නැංවෙන මෙම සංචාරය හරහා, ජපානය සහ ඉන්දියාව අතර ආර්ථික සහ ආර්ථික ආරක්ෂණ සහයෝගීතාව යළි තහවුරු කර ගැනීමට අග්‍රාමාත්‍ය ටකායිචි අපේක්ෂා කරයි.

චීනයෙන් එල්ල වන බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමේ අවශ්‍යතාවය ද සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.

චීනයේ වර්ධනය වෙමින් පවතින මිලිටරි සහ ආර්ථික බලපෑම ජපානයට මෙන්ම ඉන්දියාවට ද පොදු අභියෝගයක් වී ඇති පසුබිමක, ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව දෙරටේ නායකයන් දෙපළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ පිළිබඳව පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් මිනොරු කිහාරා ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරියගේ මෙම ඉන්දීය සංචාරය පිළිබඳව මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වුවද, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් නිර්මාණය කිරීමේ කාර්යයේදී ඉන්දියාව ජපානයට ඉතා වැදගත් හවුල්කරුවෙකු වන බව ද ඔහු එහිදී අවධාරණය කළේය.

ජපාන පාර්ලිමේන්තුවේ වත්මන් සැසිවාරය ජූලි 17 වනදායින් අවසන් වීමට නියමිත අතර, එරට දේශපාලන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරයේ ප්‍රායෝගික හැකියාව පිළිබඳව රජය ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.