June 5, 2026

නීතිවිරෝධී ලෙස සවිකර තිබූ අධි බලැති විදුලි වැටක පැටලී ‘දීග දන්තු’ නමැති සුප්‍රකට හස්තිය මියයෑමේ සිද්ධියේ සැකකරුට එරෙහිව, ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට බලධාරීහු පියවර ගනිමින් සිටිති.

කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනුකිරීම සඳහා මියගිය ඇතාගේ වටිනාකම ඇතුළත් ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගල්කිරියාගම පොලිසියට නියෝග කෙරිණි.

මීට අමතරව ඇතාගේ දළ යුගල මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග විය.

මෙම නීතිවිරෝධී විදුලි වැට සවිකළ බවට චෝදනා ලැබ දැනට ඇප මත පසුවන රක්ෂණ සමාගම් කළමනාකරුවකු වන උපුල් ප්‍රියන්ත බණ්ඩාර නැමැති සැකකරු එදින අධිකරණයේ පෙනීසිටියේය.

කලාවැව ජාතික වනෝද්‍යානයේ කාගේත් ආදරය දිනා සිටි, වයස අවුරුදු 45-50ක් පමණ වූ ‘දීග දන්තු’ ඇතා 2024 නොවැම්බර් 27 වැනිදා ආඬියාගල, ඉඟුරු වැව ප්‍රදේශයේදී මෙලෙස විදුලි සැර වැදීමෙන් මියගියේය.

වනජීවී පශු වෛද්‍යවරුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වූයේ විදුලි සැර වැදීමෙන් ඇතාගේ හෘදයාබාධයක් සිදුව ඇති බවයි.

සැකකරුගේ නිවස වටා සතුන් පලවාහැරීමට නොව, සතුන් මියයන පරිදි බැටරි පද්ධතියක් යොදා මෙම අධි බලැති විදුලි වැට සවිකර තිබූ බව විමර්ශනවලදී හෙළිව තිබිණි.

ඇතාගේ හොඬවැලෙහි අඩියක් පමණ දිග අභ්‍යන්තර පිළිස්සුම් තුවාල තිබූ අතර, වැටට විදුලිය සැපයූ වයර්, UPS උපකරණයක් සහ බැටරියක්ද පොලිසිය සොයාගෙන ඇත.

අලි ඇතුන් සුරැකීමේ සංවිධාන ඇතුළු පිරිස් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් පෙන්වාදුන්නේ, ජාතික උරුමයක් බඳු මෙවැනි ඇතකු විනාශ කිරීම පොදු දේපළ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බවයි.

වටිනාකම් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා නඩුව අගෝස්තු 06 වැනිදා දක්වා කල්තැබිණි