June 5, 2026

යුක්‍රේන – රුසියානු යුද්ධය නිමා කිරීමේ අරමුණින් යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත විවෘත ආරාධනාවක් සිදු කර තිබේ.

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසා ඇත්තේ ඒ සඳහා ඍජු සාකච්ඡාවකට එක්වන ලෙසයි.

ඒ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ අවධානය යොමුවන තෙක් බලා සිටීම නිෂ්ඵල ක්‍රියාවක් බව පවසන යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දෙරට අතර පවතින ගැටුම් නිමා කර සාමය උදාකර ගත හැක්කේ සෘජු සම්බන්ධතාවලින් පමණක් බවයි.

මෙම සාකච්ඡා පවත්වන කාලසීමාව තුළ දෙපාර්ශවයම පූර්ණ සටන් විරාමයකට එළඹිය යුතු බවට ද සෙලෙන්ස්කි යෝජනා කර තිබේ. කෙසේ වෙතත්, රුසියානු ජනාධිපතිවරයා මීට පෙර එවැනි සටන් විරාම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයකි.

යුක්‍රේන සහ රුසියානු නායකයන් දෙපළ මෙලෙස සෘජුව හමුවී සාකච්ඡා කිරීම ඉතා වැදගත් පියවරක් වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර ඇත.

මේ අතර, අදාළ විවෘත ලිපිය තමන් වෙත ලැබී ඇති බව රුසියානු ජනාධිපති කාර්යාලය වන ක්‍රෙම්ලීනය තහවුරු කර තිබේ.

එමෙන්ම ඒ පිළිබඳව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ක්‍රෙම්ලීන ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර ඇත.