June 4, 2026

දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ, කන්දකැටිය ප්‍රදේශයේ පිහිටි බදුලු ඔය මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ(03) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කෙරිණි.

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ස්ථාන කිහිපයකින් බිඳීගොස් විනාශයට පත්ව තිබූ මෙම වාරි ව්‍යාපෘතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දායකත්වයෙන් ඉතා කෙටි කලක් තුළ තාවකාලිකව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනිණි.

එම තාවකාලික ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, ගොවි ජනතාවගේ ඉදිරි වගා කටයුතු අඩාල නොවන සේ මහා ශ්‍රම මෙහෙයුමක් දියත් කරමින් 2026 ජනවාරි මාසයේ සිට නැවත දියවර නිකුත් කිරීමට ද කටයුතු කර තිබිණි.

තාවකාලික ප්‍රතිසංස්කරණයකට පමණක් සීමා නොවෙමින්, වත්මන් රජය රුපියල් මිලියන 324.43 ක දැවැන්ත පිරිවැයක් වෙන් කරමින් මෙම මහා වාරි ව්‍යාපෘතිය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද දින ආරම්භ කරන ලදී.

අක්කර 1775 වගා කටයුතු කෙරෙන බදුලු ඔය මහා වාරි වයාපෘතිය මඟින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා දිගුකාලීන සහ ස්ථාවර සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවති මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල, කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ රත්නායක ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ද, බදුල්ල දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීහු සහ ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.