June 4, 2026

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව යලි ජුලි මස 09 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී නියෝජ්‍ය පොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ජුනි මස 16 වෙනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළ බවයි.

එදින තෙක් මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීම නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි කැඳවීමකින් තොරව නඩුව කල් තබන ලෙසත් ඔහු අධිකරණයට ඉල්ලා සිටියේය.

ඒ අනුව අභියාචනාධිකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම නඩුව ජූලි මස 09 වනදා දක්වා කල් තැබීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියම කළේය.

රුපියල් ලක්ෂ 730 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයතා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබේ.