June 4, 2026

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා කැන්ඩි රෝයල්ස් කණ්ඩායම විසින් තමන්ව තෝරාගෙන තිබුණද, මෙවර තරගාවලියට තමන් ක්‍රීඩා නොකරන බව ඇෆ්ගනිස්තාන කඩුලු රකින ක්‍රීඩක සහ පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස්(Rahmanullah Gurbaz) නිවේදනය කර ඇත.

තමන් කෙරෙහි විශ්වාසය තබමින්, තරගාවලියේදී කණ්ඩායම නියෝජනය කිරීමට තමන්ව තෝරාගැනීම පිළිබඳව සන්නිවේදනය කරමින් සමාජ මාධ්‍ය වෙත මුදාහළ ප්‍රකාශයක් ඔස්සේ ගුර්බාස් කැන්ඩි රෝයල්ස් කළමනාකාරීත්වයට සිය ස්තූතිය පුදකර තිබේ.

කෙසේවෙතත්, ඇෆ්ගනිස්තානයේ දේශීය විස්සයි20 තරගාවලියක් වන ‘ෂ්පගීසා ක්‍රිකට් ලීග්’ තරගාවලිය සඳහා ක්‍රීඩාකිරීමට සිදුවීම හේතුවෙන් මෙවර LPL තරගාවලියට සහභාගී වීමට තමන්ට නොහැකි වන බව ඔහු පවසා ඇත.

“අවාසනාවකට වගේ, ඇෆ්ගනිස්තාන දේශීය තරගාවලියක් වන ෂ්පගීසා ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා මගේ දායකත්වය ලබාදීමට සිදුවීම නිසා, මෙවර තරග වාරයේදී කැන්ඩි රෝයල්ස් සංචිතය සමඟ එකතු වෙන්න මට හැකියාවක් ලැබෙන්නේ නැහැ,” යැයි ගුර්බාස් පවසා තිබේ.

තමන් වෙනුවට සුදුසු ආදේශක ක්‍රීඩකයෙකු සොයාගැනීමට සහ අවශ්‍ය සූදානම් කිරීම් සිදුකිරීමට ප්‍රමාණවත් කාලයක් ලබාදීමේ අරමුණින්, තමන් තරගාවලියට සහභාගී නොවන බව කැන්ඩි රෝයල්ස් බලධාරීන්ට කලින්ම දැනුම්දුන් බවද මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුර්බාස් තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ, 2026 LPL තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු වෙනුවට වෙනත් සුදුසු ක්‍රීඩකයෙකු සොයාගැනීමට කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට දැන් සිදුව තිබේ.