June 4, 2026

මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ රංග රාජපක්ෂගේ මරණය, තමන් විසින්ම සිදුකරගත් කැපුම් තුවාල හේතුවෙන් සිදුවූවක් බව සිව්පුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුව ඒකමතිකව තීන්දු කර ඇතැයි එම මණ්ඩලයේ සභාපති අධිකරණ වෛද්‍ය නිලධාරී ඩොක්ටර් ඉලංගරත්න බණ්ඩා පැවසීය.

කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ ඉදිරියේ ඊයේ (03) සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මුදල් අමාත්‍යාංශයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව රංග රාජපක්ෂගේ වැඩ තහනම් කර තිබිණි.

මීට පෙර පැවැති නඩු විභාගවලදී මියගිය අයගේ බිරිඳ සහ දියණිය ඇතුළු පිරිසක් ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබිණි.

මේ අතර, අධිකරණ වෛද්‍ය නිලධාරී ඉලංගරත්න බණ්ඩා, මූලස්ථාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක සහ විමර්ශනයට සම්බන්ධ වූ පොලිස් නිල සුනඛයා භාර පොලිස් සැරයන්වරයා ඇතුළු විමර්ශකයන් කිහිපදෙනකුගෙන් ඊයේ සාක්ෂි සටහන් කරගනු ලැබීය.

මෙහිදී සාක්ෂි මෙහෙයවීම සිදුකළ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ, මියගිය අයගේ සිරුරේ දක්නට ලැබුණු කැපුම් තුවාල සහ ‘බලනහර’ සම්බන්ධ වෛද්‍ය පසුබිම පිළිබඳව ද විමසා සිටියේය.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අධිකරණ වෛද්‍ය නිලධාරී ඉලංගරත්න බණ්ඩා ප්‍රකාශ කළේ ‘බලනහර’ යන යෙදුම බටහිර වෛද්‍ය විද්‍යාව තුළ පිළිනොගන්නා බවත්, තමන් ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය මහාචාර්යවරුන් සමඟ ද සාකච්ඡා කළ බවත්ය.

ශරීරය ඉතා සූක්ෂ්ම ලෙස විච්ඡේදනය කරමින් විශේෂ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය උපදේශකවරුන් සිව්දෙනා, මෙම තුවාල තමන් විසින්ම සිදුකරගත් ඒවා බවත්, අධික ලෙස ලේ වහනය වීමෙන් ඇති වූ කම්පනය (Shock) හේතුවෙන් මරණය සිදුවී ඇති බවත් තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සාක්ෂි විභාගයේදී, මියගිය අයගේ ඇඳුම්, සෙරෙප්පු සහ තුවාල සිදුකිරීමට යොදාගත් බව කියන පිහිය අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් හඳුනාගත් අතර, තුවාලවල ඡායාරූප අධිකරණ භාරයට පත්කෙරිණි.

මේ අතර, රජයේ රසපරීක්ෂකවරයාගේ වාර්තාව ලැබුණු පසු එහි ස්ථාවරය සැලකිල්ලට ගෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 30 වැනි වගන්තිය ප්‍රකාරව නියෝගයක් නිකුත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා, නඩුව නැවත ජුනි 12 වැනිදා කැඳවීමට නියෝග කළේය.