June 3, 2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවල තුන්වැනි සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සියදිවි නසාගැනීමේ දැඩි අවදානමකට මුහුණ පා ඇතැයි අධිකරණ වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් ඔහුගේ නීතිඥවරු අද (03) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

සලේ වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු හදිසි මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් හෙට (04) දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි නොතීසි නිකුත් කළේය.

මෝසම කැඳවූ අවස්ථාවේදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

තම සේවාදායකයා පරීක්ෂාවට ලක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ලබා දී ඇති නිල වාර්තාව ඔහු මෙහිදී විනිසුරුවරයා වෙත ඉදිරිපත් කළේය.

එම අධිකරණ වෛද්‍ය වාර්තාවේ ස්ථාන පහකම සැකකාර සුරේෂ් සලේ වධහිංසාවට භාජනය වී ඇති බව පැහැදිලිව දක්වා ඇතැයි ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නේය.

මෙහි බරපතළ ප්‍රතිඵලයක් ලෙස ඔහු මේ වන විට දැඩි මානසික බිඳවැටීමකට ලක්ව ඇති බව ද සඳහන් කෙරිණි.

විත්තිකාර පාර්ශවයේ නීතිඥවරයා වැඩිදුරටත් කියාසිටියේ හිටපු බුද්ධි ප්‍රධානියා මේ වන විට ‘විශාදය’, ‘පශ්චාත් කම්පන මානසික ආතතිය’ මෙන්ම අධික චිත්ත ආතතිය වැනි බරපතළ මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවයි.

මෙම තත්ත්වය හමුවේ ඔහු සියදිවි නසාගැනීමේ දැඩි ප්‍රවණතාවක පසුවන බව වෛද්‍ය වාර්තාවල සනාථ වී ඇතැයි ද හෙතෙම අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් පසන් අමරසේන පවසා සිටියේ, විත්ති පාර්ශවය මෙතරම් බරපතළ කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කළ ද, පැමිණිලිකාර පාර්ශවය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු විමසීමකින් තොරව ඒකපාර්ශවීයව කිසිදු නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.

ඒ අනුව, අදාළ මෝසම හෙට දිනට නැවත කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එදිනට උසාවිය හමුවේ පෙනීසිටිමින් මේ පිළිබඳ සිය ස්ථාවරය සහ කරුණු ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.