June 3, 2026

මහා භාණ්ඩාගාරය විසින් විදේශීය ණයක් ආපසු ගෙවීමේදී, ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක දැවැන්ත මුදලක් වංචනික පාර්ශවයකට බැරවීම සම්බන්ධ වංචාව පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය ලබන ජූලි මස 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය.

මෙම ආන්දෝලනාත්මක නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

එහිදී විමර්ශනවල වත්මන් තත්ත්වය උසාවියට පෙන්වාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ අනාවරණයක් සිදුකළේය.

ණය ගෙවීම් භාරව කටයුතු කළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුල් ගිවිසුම පිළිබඳව කිසිදු පසු විපරමක් හෝ තොරතුරු විමසීමක් කර නොමැති බව ඔවුහු පැවසූහ.

‘එක්ස්පෝට් ෆයිනෑන්ස් ඕස්ට්‍රේලියා’ (Export Finance Australia) ආයතනයේ නමින් ව්‍යාජ ලෙස සකසන ලද විද්‍යුත් තැපැල් (Email) ලිපිනයකින් ලැබුණු ඉන්වොයිසියක් (Invoice) පදනම් කරගෙන පමණක් මෙම මහාපරිමාණ මුදල් ගෙවීම සිදුකර ඇති බව CID ය අධිකරණයට ප්‍රකාශ කළේය.

මෙම සැකකටයුතු මුදල් ගෙවීම්වලට අදාළ අන්තර්ජාල සර්වර් පද්ධතියේ (Server System) සියලුම දත්ත මේ වන විට පිටපත් කර අවසන් බව ද පොලිසිය සඳහන් කළේය.

එලෙස ලබාගත් දත්ත ඇතුළත් සංයුක්ත තැටි (CD) 04ක් ඉදිරි විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික පරිගණක අංශය වෙත යොමුකර විද්‍යාත්මක වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බව විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයාගෙන් නිල අවසරය හිමිවිය.

මෙම මහා මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 42 දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටියදී අභිරහස් ලෙස මියගිය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් ද සීඅයිඩී නිලධාරීහු අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

මෙම විමර්ශනවල සංකීර්ණභාවය හේතුවෙන් ඉදිරි නඩු දිනයේදී මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිල නියෝජනයක් සම්බන්ධ කර ගැනීමට නියමිත බව ද පොලිසිය අධිකරණයට දන්වාසිටියේය.

සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, නඩුව ලබන ජූලි මස 08 වැනිදා නැවත කැඳවීමට නියෝග කළ අතර, එදිනට විමර්ශනවල සවිස්තරාත්මක ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් රැගෙන එන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවධාරණය කළේය.